Saturday, February 27, 2021

නුඹලා පැටලුනේ වැරදි පරම්පරාව සමඟ ය...

No comments :

 



    මියන්මාරය පිළිබඳ නැවත කතිකාවක් ලොකය තුළ ඇති වූයේ පසුගිය පෙබරවාරි මස 01 වැනිදා එරට හමුදාව විසින් දියත් කළ හමුදා කුමන්ත්‍රණයත් සමඟ ය. මෙවැනි කුමන්ත්‍රණ එක් දිනකින් සිදු නොවන නිසා මියන්මාරයේ අතීතය පිළිබඳ මදක් කතා කිරීමට අදහස් කරමි.

    බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති මියන්මාරය හෙවත් එකල බුරුමය ඉන් නිදහස ලබා ගන්නේ වර්ෂ 1948 ජනවාරි මස 4 වැනිදා ය. නිදහස ලැබීමෙන් පසු වෙනත් යටත් විජිත මෙන් මියන්මාරය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් නොවී ය. මියන්මාරයට එයටම අනන්‍ය වූ වාමාංශික පැහැයක් ගන්නා දේශපාලන ගමනක් තිබූ අතර නිදහසින් පසු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එරට ජනතාව පිළිගෙන තිබිණි. යුරෝපා ජාතිකයකු නොවන ප්‍රථම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ 'යූ තාන්ට්' බිහිවූයේ ද මියන්මාරයෙනි. 1961 දී ඔහුගේ කාර්යය මණ්ඩලයට මියන්මාරයෙන් බඳවාගෙන තිබූ සේවක පිරිස අතර 'අවුන් සාන් සු කී' ද වූවා ය.

    එලෙස පැවති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ප්‍රථම මරුපහර එල්ල කරමින් එකල මියන්මාර හමුදාවේ ජෙනරාල් 'නේ වින්' විසින් හමුදා කුමන්ත්‍රණයක් 1962 දී දියත් කරන ලදි. මෙම හමුදා පාලනය මියන්මාර ජනතාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ලදි. එහි ආරම්භය ලෙස 1962 වර්ෂයේම ජූලි 7 වෙනිදා සිට ඇරඹි විරෝධතා අවසන් වූයේ රැන්ගුන් සරසවියේ සිසුන් 15 දෙනෙකු මරු කැඳවමිනි. යළි යළිත් මෙම විරෝධතා 1974, 1975, 1976, 1977 වර්ෂ වල අඛණ්ඩව ක්‍රියාත්මක විය. නමුත් මේ සියල්ල ජනතාව වෙත පරාජය උරුම කරමින් නවතා දැමීමට හමුදා පාලනය සමත් විය. හමුදා පාලනය ගැන උදම් අනන උදවිය මෙය හොඳින් වටහා ගන්නේ නම් අප රටට ද යහපත් වේ.

   අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් බිහි වූ දේශපාලන පක්ෂය "ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතික ලීගය" නම් විය. 1988දී ඇය එම පක්ෂය පිහිටුවන විට ඇයට සහය ලබා දුන් මියන්මාරයේ හමුදා පාලනය ගැන කලකිරීමෙන් සිටි හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක් ද විය. 1990 දී එරට පැවති මහ මැතිවරණයෙන් සුකීගේ දේශපාලන පක්ෂයට සියයට 81ක ජනතා බලයක් හිමිවූ නමුදු මැතිවරණ ප්‍රතිඵලය අවංලගු කර දිගටම පාලනය ගෙන යාමට මියන්මාර හමුදා ප්‍රධානීන් කටයුතු කළහ. ජනතා කැමැත්ත ඔවුන්ට වැදගත් වූයේ නැත. සුකී 1989 සිට 2010 දක්වා නිවාස අඩස්සියේ පසුවූවා ය. එලෙස වසර 21 තරම් වූ දීර්ඝ කාලයක් තම පවුලෙන් පවා ඈත්ව ඇය තම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල දරාගෙන සටනේම රැඳී සිටීම වෙනුවෙන් 1999 දී නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය.

   අවසානයේ 2010 වසරේදී ඇගේ නොනැවතුණු අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇය නිදහස් කිරීමට මිලිටරි ජුන්ටාවට සිදුවිය. නිවාස අඩස්සියෙන් නිදහස් වූ සුකී යළි තම දේශපාලන ජීවිතය අරඹන අතර 2011 වර්ෂයේ දී මියන්මාරයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට හැකි විය. ඒ වසර 46කට පසුවය. ජනාධිපති ලෙස 'තියෙන් සෙයින්' පත්වීම් ලැබූ අතර සුකීගේ 'ප්‍රජාත්න්‍රවාදය සඳහා වන ජාතික ලීගයෙන්' මෙන්ම හමුදා පාලනයෙන්ද ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට ක්‍රියා කළහ.

    2015 වර්ෂයේ දී පැවති මහ මැතිවරණයෙන් ද සුකීගේ පක්ෂයට අති විශාල බහුතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට හැකි විය. නමුත් 2008 දී හමුදා පාලනය විසින් සම්මත කරගෙන තිබූ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළ සුකීගේ පක්ෂයට හිමි වූ නියෝජනය සියයට 75 ක් පමණක් විය. පාර්ලිමේන්තු අසුන්වලින් සියයට 25 ක් සහ ප්‍රධාන අමාත්‍යාංශ තුනක බලය හමුදාව සතු විය.

    මියන්මාරයේ ප්‍රධාන ආගම බෞද්ධාගම වන අතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ඇතුළු බොහෝ ජනවාර්ගික කණ්ඩායම් ජීවත් වේ. මියන්මාරය සුළුතරයක් වූ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස සලකන අතර ඔවුන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදි. වර්ෂ 2017 දී හමුදා මර්දනයකින් පසු රොහින්ග්‍යා වැසියන් දහස් ගණනක් මියගිය අතර 700,000 කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ. සූකී 2019 දී ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී හමුදාව ජන සංහාරයක් කළ බවට වූ චෝදනා ප්‍රතික්ෂේප කළා ය. මෙහිදී සුකීගේ පාලනය ජාත්‍යන්තර හමුවේ ද දෝෂාරෝපණයට ලක්විය. කෙසේ වුවත් මෙම අවස්ථාවේදී නම් සුකීගේ පාලනය හා හමුදා පාලනය නියමාකාරයෙන්ම සමපාත වී ඇති බව පැහැදිලි වේ.

    මේ වන විට සුකී පාලනය සමඟ හමුදා පාලනය සමපාත නොවූ අතර 2020 නොවැම්බර් මස 3 වෙනි දින එරට හමුදා නායක 'ජෙනරාල් මින්ග් අවුන්ග ලායින්ග්' පවසා සිටියේ "සිවිල් පාලනය මගින් සමාව දිය නොහැකි වැරදීම් සිදුවෙමින් පවතින බවයි". එලෙස නැවත හමුදා කුමන්ත්‍රණයකට අදාල මාවත පිළිසකර කර ගැනීමට එරට හමුදාව කටයුතු කර ඇත.

   තත්ත්වය එසේ තිබිය දී නොවැම්බර් මස 8 වැනිදා මියන්මාරය තුළ යළිත් මහ මැතිවරණයක් පැවැත්වූ අතර එහිදී ද අති විශාල ජනතා බලයක් සුකීට හිමි විය. එහෙත් එහිදී මැතිවරණ වංචා සිදුවූ බවට හමුදා මැදිහත් වීමෙන් ගොඩ නැගූ විපක්ෂයෙන් චෝදනා එල්ල වන්නට විය. ඔවුන් නොවැම්බර් 11 වැනිදා සුකීගේ ආණ්ඩුවට චෝදනා එල්ල කර සිටියේ ඇය මැතිවරණ වංචා සිදු කළ බවයි. කෙසේ වුවද මේ චෝදනාවලට පිළිතුරු දීමට සුකී කලබල නොවූ අතර ඇය තම හිතවත් පුද්ගලයන් අතරින් ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයට පත් කිරීම්වල නිරත විය. එහෙත් පාලනය යළි තමා අතට ගැනීමේ හමුදා උත්සාහය වැළැක්වීමට ඇයට හැකියාව ලැබුණේ නැත. හමුදාව මෙවර තම මාවත ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මාවතම තෝරාගෙන තිබූ අතර 2021 ජනවාරි 26වැනි දින හමුදා ප්‍රකාශක 'බ්‍රිගේඩියර් ජෙනරල් සවු මින් ටුන්' පවසා සිටියේ ආණ්ඩුව සිදු කළ මැතිවරණ වංචා නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් "ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති බවයි". විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර සිටියේ ඒ වන විටත් රැන්ගුන් නුවර මහා මාර්ගවල හමුදා රථ ගමන් කරමින් තිබූ බවයි.

    මේ සම්බන්ධව මියන්මාර මැතිවරණ කොමිසමේ අදහස් ජනවාරි 28 වැනිදා එළි දැක්වුණු අතර එහිදී කොමිසම පවසා සිටියේ මැතිවරණ වංචා මඟින් ආණ්ඩුව බලයට පැමිණි බව පිළිගත නොහැකි බවයි.

    මේ වන විට ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් සිටි මියන්මාර හමුදාව ජනතාවට සාධාරණය ඉටු කිරීමටත්, මැතිවරණ ප්‍රතිඵලය මඟින් උල්ලංඝනය වූ මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි ස්ථාපිත කිරීමටත් කටයුතු කරන බවට නිවේදනයක් ජනවාරි 30 වැනිදා නිකුත් කළ අතර ඒ වන විටත් මියන්මාරයේ ප්‍රධාන නගරවල හමුදාවට සහය දෙන පිරිස් යොදවා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීමටත් හමුදාව කටයුතු යොදා තිබිණි. පෙබරවාරි 01 වෙනි දින එනම් සුකීගේ නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට අදාල කටයුතු සංවිධානය කර තිබූ දින රාජ්‍ය බලය හමුදාව විසින් අත්පත් කර ගන්නේ එහි ආසන්නතම ප්‍රතිඵලය ලෙසිනි.

    පෙබරවාරි 01 වෙනිදා උදෑසන වන විට සුකීට සහ ඇයගේ පක්ෂයේ ප්‍රධානීන්ට නිවෙස්වලින් පිටතට පැමිණීම හමුදාව විසින් තහනම් කර තිබූ අතර දුරකථන සමඟ අන්තර්ජාල සේවය ද අවහිර කර තිබිණි. සුකී සමඟ සුකීගේ රජයේ ජනාධිපති ධූරය හෙබ වූ 'වින්ග් මින්ට්' ද නිවාස අඩස්සියට පත් වූ අතර, හමුදා ප්‍රධානී 'ජෙනරාල් මින්ග් අවුන්ග් ලායින්ග්' රටේ පාලනය තමා අතට ගන්නා බව ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මෙය මැතිවරණ වංචා සිදුකිරිමට අදාළ ප්‍රතික්‍රියාව බවයි. කෙසේ වුවද හමුදාව පවසන තරමට ජනතාවාදී ද යන්න තීරණය කළ යුත්තේ එරට ජනතාව විසිනි.

    මේවන විට ජනතාව තම තීරණය ප්‍රකාශ කරමින් බලහත්කාරී හමුදා පාලනයට එරෙහිව ලක්ෂ ගනනින් ජනයා විරෝධතා සඳහා එක්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. විරෝධතා සඳහා සහභාගී නොවන ලෙසට හමුදා පාලකයින් විසින් ජනතාවට එල්ල කර තිබෙන ජීවිත අහිමි කිරීමේ බලපෑම් පවා නොතකා වෙළෙඳසැල් පවා වසා දමා විශාල ජනතාවක් මේ වනවිට විරෝධතා සඳහා එක්ව තිබේ.

    සියලු මර්දනයන් හමුවේ වුවද පසුගිය පෙබරවාරි 01 වැනි දින සිට අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් නිදහස් කර ගැනීම සඳහා වන විරෝධතාවයන් මේ වනවිට ප්‍රබල වෙමින් පවතින අතර ජනතාගේ දැඩි විරෝධයක් හමුදා පාලනයට එරෙහිව එල්ල වෙමින් පවතී.විරෝධතා අතරතුරදී සිදුවූ වෙඩිතැබීම් හේතුවෙන් මේ වනවිට ජීවිත දෙකක් අහිමි වී ඇති අතර හමුදා පාලනයට එරෙහිව ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ වන විට නිවාස අඩස්සියට යොමුකර සිටින සුකීට එල්ල කර ඇති චෝදනා වන්නේ නීති විරෝධී සන්නිවේදන උපකරණ භාවිතා කිරීම සහ ස්වාභාවික ආපදා නීතිය කඩ කිරීමය.

    මේ වන විටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුයිටරේස් මේ හමුදා කුමන්ත්‍රණය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ "ජනතා මතයට හිස නමන මෙන් තමා හමුදා ප්‍රධානීන් ගෙන් ඉල්ලා සිටින බවයි."

    රටවල් රැසක රාජ්‍ය නායකයන්ද මියන්මාර හමුදා කුමන්ත්‍රණය හෙළා දැකීමට කටයුතු කර ඇති අතර අබිනවයෙන් පත්වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුදා පාලනයට තර්ජනය කරමින් පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය හැකි තරම් ඉක්මනින් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළ හොත් ඇමරිකාව මියන්මාරයට සම්බාධක පැනවීමට කටයුතු කරන බවද බයිඩ්න් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

    අවසාන වශයෙන් මෙම විරෝධතාවයන් අතරතුර එරට විවිධ නගර වල බිත්ති හා තාප්ප මත දක්නට ලැබූ පාඨයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.


"ඔබලා පැටලුනේ වැරදි පරම්පරාව සමඟය. "