Wednesday, March 17, 2021
නිදහස් අධ්‍යාපනය අයිතියක් කළ පැරිස් කොමියුනය...
ලොව පුරා වෙසෙන නිර්ධන පන්තියට තම විමුක්තිය උදා කර ගැනීමට හැකි බව ලොවට පසක් කරමින් බිහි වූ පැරිස් කොමියුනයට වසර 150 ක් පිරෙන අද දින එම ඉතිහාසය ගෙනහැර දැක්වීම සුදුසු යැයි අපි කල්පනා කළෙමු.
සමාජ සංවර්ධනයේ දී පන්ති සටන තීරණාත්මක කාර්යයක් ඉටුකර ඇත. එම පන්ති සටන් වල ජය බිමක් ලෙස ප්‍රංශය හඳුනාගත හැක. ලෝකයම අඳුරේ ගිල්වමින් තිබූ මධ්‍යතන යුගය අවසන් කරමින් වැඩවසම් සමාජය පෙරලා දමා ධනවාදයට ප්‍රංශය විවෘත වූ ප්‍රංශ විප්ලවය සිදු වූයේ 1789 දී ය. ඉන්පසුව ද ප්‍රංශය පුරා කම්කරු සටන් නිරන්තරයෙන් දක්නට ලැබුණි.
1860 දශකය වන විට ප්‍රංශයේ පැවතියේ ලුවී නැපෝලියන්ගේ රාජාණ්ඩු පාලනයක් වන අතර එම කාල වකවානුවේ ප්‍රංශය හා ජර්මනිය අතර යුදමය තත්ත්වයක් උද්ගතව පැවතුණි. 1870 ජුනි 19 වැනි දින ප්‍රංශ හමුදාව ජර්මනිය ආක්‍රමණය කළ නමුත් සැප්තැම්බර් 02 වැනි දින වන විට නැවත ජර්මනියට යටත් වීමට සිදුවිය. ප්‍රංශය මුහුණදුන් මෙම තත්ත්වයන් හමුවේ රට තුළ රජුට එරෙහිව විරෝධතා ඇති වූ අතර ඒවා තම වාසියට හරවා ගනිමින් ඇඩොල්ෆ් තියරේස් ප්‍රමුඛ ප්‍රංශ ධනපතියෝ තාවකාලික සමූහාණ්ඩුවක් ස්ථාපිත කර ගැනීමට ක්‍රියා කළහ.
1870 සැප්තැම්බර් 18 වැනි දින ජර්මන් හමුදා ප්‍රංශය ආක්‍රමණය කිරීමට සූදානම් විය. ඊට එරෙහිව වීරෝධාර ලෙස නැඟී සිටි පැරිස් කම්කරුවන් නිර්ධන පන්ති රාජ්‍යයක් ගොඩ නැගීමට උත්සහ කරනු ලැබූ අතර 1871 මාර්තු 18 වැනි දින එනම් අද වැනි දිනක විසින් පැරිසියේ බලය තමන් වෙත පවරා ගනිමින් ලෝකයේ පළමු නිර්ධන පන්ති රාජ්‍ය වන පැරිස් කොමියුනය පිහිටුවා ගන්නා ලදි. පැවති මෙම යුධමය තත්ත්වය හමුවේ ජර්මනිය සහ ප්‍රංශයේ ධනපති සමූහාණ්ඩුව කම්කරු විරෝධී ගිව්සුමක් ඇති කරගත්ත ද සමූහාණ්ඩුවාදීන් පළවා හැරීමට ප්‍රංශ කම්කරුවන් සමත් විය.
මෙලෙස ස්ථාපිත කර ගත් නිර්ධන පන්ති රාජ්‍යය තුළ ක්‍රියාත්මක කළ තීන්දු තීරණ පිළිබඳව විමසා බැලීමේ දී පහත සඳහන් දෑ වැදගත් වේ.
- රජය සතුව පැවති ස්ථාවර සන්නද්ධ හමුදා අහෝසි කරමින් කම්කරු ආරක්ෂක කමිටු ගොඩ නැගීමට කොමියුනය විසින් කටයුතු කිරීම.
- කොමියුනයේ පාලනය තුළ පල්ලිය සහ රාජ්‍යය එකිනෙකින් වෙන් කිරීම සහ ආගමික සංස්ථා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා නොදුන් පල්ලි සතු දේපොළ සියල්ල පොදු දේපළක් විය යුතු බව ද කොමියුනය විසින් තීරණය කිරීම.
- කම්කරුවන් සහ නිළධාරින් අතර පැවති වැටුප් විෂමතාවය ඉවත් කිරීම.(නිළධාරින්ගේ වැටුප කම්කරුවන්ගේ වැටුප නොඉක්මවිය යුතු බව තීරණය කිරීම.)
- දිළිඳු පවුල් සඳහා සහනාධාර ලබා දීමට කටයුතු කිරීම. විශේෂයෙන් නගරයේ බේකරිවල රාත්‍රී වැඩ මුරය අවසන් කර කම්කරු ආරක්ෂක කමිටු වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් ව මියගිය අයගේ පවුල්වලට විශ්‍රාම වැටුප ලබා දීම සහ ණය සඳහා පොළී අය කිරීම අහෝසි කිරීම.
- ධනපතියන් විසින් හැර ගිය කර්මාන්ත ශාලා කම්කරු පාලනයක් යටතේ නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.
- මාර්තු මස 26 වැනි දින මැතිවරණයක් පවත්වා කොමියුනය කෙරෙහි ජනතා ප්‍රසාදය මෙන්ම විශ්වාසය තහවුරු කර ගැනීම. ( මෙම මැතිවරණය සඳහා ධනපති කණ්ඩායම් වලටද ඉදිරිපත් වීමට හැකිවිය.)
- මෙතෙක් සාමාන්‍යය ජනතාවට විවෘත නොවූ සියළු අධ්‍යාපන ආයතන ජනතාව වෙත නොමිලේ විවෘත කිරීම.
- අධිකරණ නිලධාරීන්ගේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා පියවර ගැනීම.
මෙලෙස නිර්මාණය කරගත් පැරිස් කොමියුනයේ පාලනය බිඳ දැමීමට ධනපතියන්ගේ මැදිහත් වීම බහුල දක්නට ලැබිනි. වර්සේල්ස්වලට පළා ගොස් ධනපතියන් සමඟ සංවිධානය වූ විසිරුවා හරින ලද ධනපති හමුදා විසින් 1871 මැයි මස 21 වැනි දින පැරිස් නගරයට පහර දී නගරය නැවත පවරා ගන්නා ලදි. එහි දී කාන්තාවන් සහ දරුවන් ඇතුළු ප්‍රංශ වැසියන් දස දහස් ගනනක් මරා දමනු ලැබී ය. ඊට අමතරව, ප්‍රතිවිප්ලවකාරී හමුදාව විසින් සිරකරුවන් ලෙස සැලකූ බොහෝ දෙනා ඝාතනය කරනු ලැබී ය. එම "ලේ වැකි සතිය" තුළ සහ සිරකරුවන් ලෙස ඝාතනය කළ ප්‍රංශ වැසියන් නගරය වටා නොගැඹුරු සොහොන් ගෙවල්වල තැන්පත් කරනු ලැබී ය . කොමියුනය සංහාරය කරමින් සමූලඝාතනය කළ එක් ස්ථානයක් වූයේ ප්‍රසිද්ධ ප්‍රේලාෂාස් සුසාන භූමිය යි. මේවන විට එම ස්ථානයේ සිහිවටනයක් ලෙස ස්මාරකයක් ද ඉදිකර ඇත. මැයි මස 28 වැනි දින ලේ වැකි සතිය නිමා වූයේ ලොව ප්‍රථම නිර්ධන පන්ති රාජ්‍ය වූ ප්‍රංශ කොමියුනය දින 72 කට සීමා කරමිනි.
නිර්ධන පන්ති රාජ්‍යයක ප්‍රායෝගික අත්දැකීම් නොමැතිව බිහි වූ ප්‍රංශ කොමියුනය බිඳවැටීමට හේතු පාදක වූ කරුණු කිහිපයක් හඳුනා ගත හැකි ය. ඒවා පහතින් දැක්වේ.
- කොමියුනයට පෙර පැවති පැරිස් බැංකුවල තිබූ මුදල් කොමියුනය වෙත පවරා නොගැනීම සහ එම මුදල් රැගෙන ධනපතියන්ට වර්සේල්ස් බලා පළා යාමට ඉඩ ලබා දීම.
- විසිරුවා හරින ලද හමුදාවන්ට පළා ගොස් වර්සේල්ස් ප්‍රතිවිප්ලවයේ මධ්‍යස්ථානය බවට පත්කර ගැනීමට ඉඩ ලබාදීම. මෙහි දී එම පිරිස් තියරේගේ හමුදාව සමඟ කටයුතු කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ද පැරිස් කොමියුනය අපොහොසත් වී ඇත.
- කොමියුනය තුළ විවිධ මතයන් දරන පාර්ශ්වයන් සිටීම නිසා මධ්‍යගත සංවිධානයක් නොතිබීම.
- ජනතාව සන්නද්ධ කර ශක්තිමත් නිර්ධන පන්ති හමුදාවක් බිහි කිරීම සඳහා මැදිහත් වීම කොමියුනයට මඟහැරී තිබීම.
- කම්කරුවන් විසින් ගොඩ නැගූ කොමියුනය පවත්වා ගෙන යාම සඳහා ගොවි ජනතාව සංවිධානය නොකිරීම.
පැරිස් කොමියුනයේ බිඳවැටීමෙන් අනතුරුව බිහි වූ නිර්ධන පන්ති රාජ්‍යයන් කොමියුනයෙහි අත්දැකීම් තම අරමුණ කරා ගමන් කිරීමට පාදක කරගත් බව දක්නට ලැබේ.
නිර්ධන පන්ති රාජ්‍යයක අත්දැකීම් නොමැති අවස්ථාවක වුව ද නිර්ධන පන්තියේ අභිවෘද්ධිය උදෙසා සටන් කළ, කැපකිරීම් කළ පැරිස් කොමියුනයට අපගේ විප්ලවීය ආචාරය..
Saturday, March 13, 2021
විකිණීමට ඇත.
" නිදහසින් පසු වසර 73ක කාලයක් වසර පහෙන් පහට පැවති කට්ටිමාරු දේශපාලනයට පැවති නිශ්චිත දැක්මක් නොතිබීම මෙන්ම ඔවුන් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිවල පැවති දුර්වලතා නිසා අද දවස වන විට ලංකාව ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී පවතී. මීට විසදුම වන්නේ ආකර්ෂණීය වචන වලින් කලින් කලට ගෙන එන ප්‍රතිපත්ති ප්‍රකාශන නොව ක්‍රමවේදය තුළ සිදුකරන වෙනසකි. එසේ නොවන්නට අපට සිදුවනුයේ අප රට සතු වටිනා සම්පත් සින්නක්කරව හෝ බදු පදනම මත බලවත් ජාතීන් අත්පත් කරගන්නා දෙස බලා සිටින්නට පමණි.
ස්පාඤ්ඤකාරයෝ කොලොම්බියාවට ආවේ රත්‍රන් හොයාගෙනය. ඉන්පසු ඇමරිකන්කාරයෝ කොලොම්බියාවට ආවේ කෙසෙල් කැන් සොයාගෙනය. ස්පාඤ්ඤකාරයෝ රත්‍රන් වෙනුවෙන් කොලොම්බියාවේ දහස් ගණන් ඝාතනය කළහ. 1928 දී ඇමරිකන්කාරයෝද කොලොම්බියාවට පැන කෙසෙල් වගාව පිණිස ඉඩම් කොල්ලකා තිස්දාහක් පමණ ඝාතනය කළහ.මේ සිදුවීම් වන කාලයට පෙර ලංකාවේද 1818 දී හා 1848 දී සුද්දන් විසින් අපේ ජනයාද දහස් ගණනක් ඝාතනය කරනු ලැබුවේ මේ රටේ සම්පත් කොල්ලකෑම වෙනුවෙනි. අධිරාජ්‍යවාදීන්ගේ පැහැය කුමක් වුවත් ක්‍රියාවේ වෙනසක් නැත. වර්තමානයේදී ද දෙස් විදෙස් නරුමයින් විසින් ලංකාව හපකර දමනවිට මෙරට උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන් සිවිල් ජනයා බහුතරයක් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටීම වේදනාවට කරුණකි. කොලොම්බියාවද අප වැනි රටකි. අධිරාජ්‍යයවාදීන්ගේ හපයක් බවට පත්ව ලතින් ඇමරිකානු කලාපයේ වඩාත්ම අනාරක්ෂිත රට බවටද පත්විය. ශ්‍රී ලංකාවටද එම තත්ත්වය උරුම වීමට මත්තෙන් මෙසේ සටහන් කරමු."
Saturday, February 27, 2021
නුඹලා පැටලුනේ වැරදි පරම්පරාව සමඟ ය...
මියන්මාරය පිළිබඳ නැවත කතිකාවක් ලොකය තුළ ඇති වූයේ පසුගිය පෙබරවාරි මස 01 වැනිදා එරට හමුදාව විසින් දියත් කළ හමුදා කුමන්ත්‍රණයත් සමඟ ය. මෙවැනි කුමන්ත්‍රණ එක් දිනකින් සිදු නොවන නිසා මියන්මාරයේ අතීතය පිළිබඳ මදක් කතා කිරීමට අදහස් කරමි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති මියන්මාරය හෙවත් එකල බුරුමය ඉන් නිදහස ලබා ගන්නේ වර්ෂ 1948 ජනවාරි මස 4 වැනිදා ය. නිදහස ලැබීමෙන් පසු වෙනත් යටත් විජිත මෙන් මියන්මාරය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් නොවී ය. මියන්මාරයට එයටම අනන්‍ය වූ වාමාංශික පැහැයක් ගන්නා දේශපාලන ගමනක් තිබූ අතර නිදහසින් පසු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එරට ජනතාව පිළිගෙන තිබිණි. යුරෝපා ජාතිකයකු නොවන ප්‍රථම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ 'යූ තාන්ට්' බිහිවූයේ ද මියන්මාරයෙනි. 1961 දී ඔහුගේ කාර්යය මණ්ඩලයට මියන්මාරයෙන් බඳවාගෙන තිබූ සේවක පිරිස අතර 'අවුන් සාන් සු කී' ද වූවා ය.
එලෙස පැවති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ප්‍රථම මරුපහර එල්ල කරමින් එකල මියන්මාර හමුදාවේ ජෙනරාල් 'නේ වින්' විසින් හමුදා කුමන්ත්‍රණයක් 1962 දී දියත් කරන ලදි. මෙම හමුදා පාලනය මියන්මාර ජනතාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ලදි. එහි ආරම්භය ලෙස 1962 වර්ෂයේම ජූලි 7 වෙනිදා සිට ඇරඹි විරෝධතා අවසන් වූයේ රැන්ගුන් සරසවියේ සිසුන් 15 දෙනෙකු මරු කැඳවමිනි. යළි යළිත් මෙම විරෝධතා 1974, 1975, 1976, 1977 වර්ෂ වල අඛණ්ඩව ක්‍රියාත්මක විය. නමුත් මේ සියල්ල ජනතාව වෙත පරාජය උරුම කරමින් නවතා දැමීමට හමුදා පාලනය සමත් විය. හමුදා පාලනය ගැන උදම් අනන උදවිය මෙය හොඳින් වටහා ගන්නේ නම් අප රටට ද යහපත් වේ.
අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් බිහි වූ දේශපාලන පක්ෂය "ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතික ලීගය" නම් විය. 1988දී ඇය එම පක්ෂය පිහිටුවන විට ඇයට සහය ලබා දුන් මියන්මාරයේ හමුදා පාලනය ගැන කලකිරීමෙන් සිටි හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක් ද විය. 1990 දී එරට පැවති මහ මැතිවරණයෙන් සුකීගේ දේශපාලන පක්ෂයට සියයට 81ක ජනතා බලයක් හිමිවූ නමුදු මැතිවරණ ප්‍රතිඵලය අවංලගු කර දිගටම පාලනය ගෙන යාමට මියන්මාර හමුදා ප්‍රධානීන් කටයුතු කළහ. ජනතා කැමැත්ත ඔවුන්ට වැදගත් වූයේ නැත. සුකී 1989 සිට 2010 දක්වා නිවාස අඩස්සියේ පසුවූවා ය. එලෙස වසර 21 තරම් වූ දීර්ඝ කාලයක් තම පවුලෙන් පවා ඈත්ව ඇය තම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල දරාගෙන සටනේම රැඳී සිටීම වෙනුවෙන් 1999 දී නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය.
අවසානයේ 2010 වසරේදී ඇගේ නොනැවතුණු අරගලයේ ප්රතිඵලයක් ලෙස ඇය නිදහස් කිරීමට මිලිටරි ජුන්ටාවට සිදුවිය. නිවාස අඩස්සියෙන් නිදහස් වූ සුකී යළි තම දේශපාලන ජීවිතය අරඹන අතර 2011 වර්ෂයේ දී මියන්මාරයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට හැකි විය. ඒ වසර 46කට පසුවය. ජනාධිපති ලෙස 'තියෙන් සෙයින්' පත්වීම් ලැබූ අතර සුකීගේ 'ප්‍රජාත්න්‍රවාදය සඳහා වන ජාතික ලීගයෙන්' මෙන්ම හමුදා පාලනයෙන්ද ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට ක්‍රියා කළහ.
2015 වර්ෂයේ දී පැවති මහ මැතිවරණයෙන් ද සුකීගේ පක්ෂයට අති විශාල බහුතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට හැකි විය. නමුත් 2008 දී හමුදා පාලනය විසින් සම්මත කරගෙන තිබූ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළ සුකීගේ පක්ෂයට හිමි වූ නියෝජනය සියයට 75 ක් පමණක් විය. පාර්ලිමේන්තු අසුන්වලින් සියයට 25 ක් සහ ප්‍රධාන අමාත්‍යාංශ තුනක බලය හමුදාව සතු විය.
මියන්මාරයේ ප්‍රධාන ආගම බෞද්ධාගම වන අතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ඇතුළු බොහෝ ජනවාර්ගික කණ්ඩායම් ජීවත් වේ. මියන්මාරය සුළුතරයක් වූ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස සලකන අතර ඔවුන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදි. වර්ෂ 2017 දී හමුදා මර්දනයකින් පසු රොහින්ග්‍යා වැසියන් දහස් ගණනක් මියගිය අතර 700,000 කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ. සූකී 2019 දී ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී හමුදාව ජන සංහාරයක් කළ බවට වූ චෝදනා ප්‍රතික්ෂේප කළා ය. මෙහිදී සුකීගේ පාලනය ජාත්‍යන්තර හමුවේ ද දෝෂාරෝපණයට ලක්විය. කෙසේ වුවත් මෙම අවස්ථාවේදී නම් සුකීගේ පාලනය හා හමුදා පාලනය නියමාකාරයෙන්ම සමපාත වී ඇති බව පැහැදිලි වේ.
මේ වන විට සුකී පාලනය සමඟ හමුදා පාලනය සමපාත නොවූ අතර 2020 නොවැම්බර් මස 3 වෙනි දින එරට හමුදා නායක 'ජෙනරාල් මින්ග් අවුන්ග ලායින්ග්' පවසා සිටියේ "සිවිල් පාලනය මගින් සමාව දිය නොහැකි වැරදීම් සිදුවෙමින් පවතින බවයි". එලෙස නැවත හමුදා කුමන්ත්‍රණයකට අදාල මාවත පිළිසකර කර ගැනීමට එරට හමුදාව කටයුතු කර ඇත.
තත්ත්වය එසේ තිබිය දී නොවැම්බර් මස 8 වැනිදා මියන්මාරය තුළ යළිත් මහ මැතිවරණයක් පැවැත්වූ අතර එහිදී ද අති විශාල ජනතා බලයක් සුකීට හිමි විය. එහෙත් එහිදී මැතිවරණ වංචා සිදුවූ බවට හමුදා මැදිහත් වීමෙන් ගොඩ නැගූ විපක්ෂයෙන් චෝදනා එල්ල වන්නට විය. ඔවුන් නොවැම්බර් 11 වැනිදා සුකීගේ ආණ්ඩුවට චෝදනා එල්ල කර සිටියේ ඇය මැතිවරණ වංචා සිදු කළ බවයි. කෙසේ වුවද මේ චෝදනාවලට පිළිතුරු දීමට සුකී කලබල නොවූ අතර ඇය තම හිතවත් පුද්ගලයන් අතරින් ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයට පත් කිරීම්වල නිරත විය. එහෙත් පාලනය යළි තමා අතට ගැනීමේ හමුදා උත්සාහය වැළැක්වීමට ඇයට හැකියාව ලැබුණේ නැත. හමුදාව මෙවර තම මාවත ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මාවතම තෝරාගෙන තිබූ අතර 2021 ජනවාරි 26වැනි දින හමුදා ප්‍රකාශක 'බ්‍රිගේඩියර් ජෙනරල් සවු මින් ටුන්' පවසා සිටියේ ආණ්ඩුව සිදු කළ මැතිවරණ වංචා නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් "ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති බවයි". විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර සිටියේ ඒ වන විටත් රැන්ගුන් නුවර මහා මාර්ගවල හමුදා රථ ගමන් කරමින් තිබූ බවයි.
මේ සම්බන්ධව මියන්මාර මැතිවරණ කොමිසමේ අදහස් ජනවාරි 28 වැනිදා එළි දැක්වුණු අතර එහිදී කොමිසම පවසා සිටියේ මැතිවරණ වංචා මඟින් ආණ්ඩුව බලයට පැමිණි බව පිළිගත නොහැකි බවයි.
මේ වන විට ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් සිටි මියන්මාර හමුදාව ජනතාවට සාධාරණය ඉටු කිරීමටත්, මැතිවරණ ප්‍රතිඵලය මඟින් උල්ලංඝනය වූ මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි ස්ථාපිත කිරීමටත් කටයුතු කරන බවට නිවේදනයක් ජනවාරි 30 වැනිදා නිකුත් කළ අතර ඒ වන විටත් මියන්මාරයේ ප්‍රධාන නගරවල හමුදාවට සහය දෙන පිරිස් යොදවා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීමටත් හමුදාව කටයුතු යොදා තිබිණි. පෙබරවාරි 01 වෙනි දින එනම් සුකීගේ නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට අදාල කටයුතු සංවිධානය කර තිබූ දින රාජ්‍ය බලය හමුදාව විසින් අත්පත් කර ගන්නේ එහි ආසන්නතම ප්‍රතිඵලය ලෙසිනි.
පෙබරවාරි 01 වෙනිදා උදෑසන වන විට සුකීට සහ ඇයගේ පක්ෂයේ ප්‍රධානීන්ට නිවෙස්වලින් පිටතට පැමිණීම හමුදාව විසින් තහනම් කර තිබූ අතර දුරකථන සමඟ අන්තර්ජාල සේවය ද අවහිර කර තිබිණි. සුකී සමඟ සුකීගේ රජයේ ජනාධිපති ධූරය හෙබ වූ 'වින්ග් මින්ට්' ද නිවාස අඩස්සියට පත් වූ අතර, හමුදා ප්‍රධානී 'ජෙනරාල් මින්ග් අවුන්ග් ලායින්ග්' රටේ පාලනය තමා අතට ගන්නා බව ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මෙය මැතිවරණ වංචා සිදුකිරිමට අදාළ ප්‍රතික්‍රියාව බවයි. කෙසේ වුවද හමුදාව පවසන තරමට ජනතාවාදී ද යන්න තීරණය කළ යුත්තේ එරට ජනතාව විසිනි.
මේවන විට ජනතාව තම තීරණය ප්‍රකාශ කරමින් බලහත්කාරී හමුදා පාලනයට එරෙහිව ලක්ෂ ගනනින් ජනයා විරෝධතා සඳහා එක්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. විරෝධතා සඳහා සහභාගී නොවන ලෙසට හමුදා පාලකයින් විසින් ජනතාවට එල්ල කර තිබෙන ජීවිත අහිමි කිරීමේ බලපෑම් පවා නොතකා වෙළෙඳසැල් පවා වසා දමා විශාල ජනතාවක් මේ වනවිට විරෝධතා සඳහා එක්ව තිබේ.
සියලු මර්දනයන් හමුවේ වුවද පසුගිය පෙබරවාරි 01 වැනි දින සිට අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් නිදහස් කර ගැනීම සඳහා වන විරෝධතාවයන් මේ වනවිට ප්‍රබල වෙමින් පවතින අතර ජනතාගේ දැඩි විරෝධයක් හමුදා පාලනයට එරෙහිව එල්ල වෙමින් පවතී.විරෝධතා අතරතුරදී සිදුවූ වෙඩිතැබීම් හේතුවෙන් මේ වනවිට ජීවිත දෙකක් අහිමි වී ඇති අතර හමුදා පාලනයට එරෙහිව ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ වන විට නිවාස අඩස්සියට යොමුකර සිටින සුකීට එල්ල කර ඇති චෝදනා වන්නේ නීති විරෝධී සන්නිවේදන උපකරණ භාවිතා කිරීම සහ ස්වාභාවික ආපදා නීතිය කඩ කිරීමය.
මේ වන විටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුයිටරේස් මේ හමුදා කුමන්ත්‍රණය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ "ජනතා මතයට හිස නමන මෙන් තමා හමුදා ප්‍රධානීන් ගෙන් ඉල්ලා සිටින බවයි."
රටවල් රැසක රාජ්‍ය නායකයන්ද මියන්මාර හමුදා කුමන්ත්‍රණය හෙළා දැකීමට කටයුතු කර ඇති අතර අබිනවයෙන් පත්වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුදා පාලනයට තර්ජනය කරමින් පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය හැකි තරම් ඉක්මනින් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළ හොත් ඇමරිකාව මියන්මාරයට සම්බාධක පැනවීමට කටයුතු කරන බවද බයිඩ්න් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
අවසාන වශයෙන් මෙම විරෝධතාවයන් අතරතුර එරට විවිධ නගර වල බිත්ති හා තාප්ප මත දක්නට ලැබූ පාඨයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.
"ඔබලා පැටලුනේ වැරදි පරම්පරාව සමඟය. "
Saturday, November 7, 2020
සිසු අරගල ඉතිහාසයෙන් හෙට අරගලයට දැක්මක්
දශක ගණනාවක් පුරා තම අයිතීන් වෙනුවෙන්, පරාර්ථකාමී හැඟීම් කැටිව හා යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් ලෙස හුදෙක් නිදහස් අධ්‍යාපනය සුරැකීම පමණක්ම තම ඒකායන අරමුණ බවට පත් කර නොගනිමින් පොදුවේ සමාජයේ අයිතීන් දිනා දීම උදෙසා කැප වූ ව්‍යාපාරයක් ලෙස ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය යථාර්ථවාදීව හඳුනා ගත හැකිය. ඒ උත්තුංග අරමුණ වෙනුවෙන් තම කාලය, ශ‍්‍රමය, දහදිය, රුධිරය, කඳුළු පමණක් නොව තම ජීවිත ද කැප කළ ව්‍යාපාරයක් ලෙස මෙය වර්තමානයේ ද මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙර සේම එක සේ අරගල මතින් පන්නරය දෙමින් සටන් වදිමින් සිටී. මේ අතුරිනුත් නිදහස් අධ්‍යාපනය මෙතූවක් දුරට හෝ ආරක්ෂා වී ඇත්තේ සමාජය ප‍්‍රගතශීලී කොටස් සමග එක්ව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව කරන ලද සටන් වල ප‍්‍රතිඵලයක් ලෙස ය.
1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල සංශෝධන
පනත භාවිතා කරමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලීය නමින් පෞද්ගලික ආයතනයක් කොළඹ නාලන්දා
විද්‍යාලයේ ගොඩනැගිල්ලක ආරම්භ කෙරිණි. හරිහැටි ගොඩනැඟිලි පසුකම් පවා නොමැති පසුබිමක
රජයේ පාසල් ගොනැගිල්ලක මෙය ආරම්භ කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම කඩිනමින්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර අධ්‍යාපනය
විකිණීමට තිබු ප්‍රතිපත්තිය මනාව පැහැදිලි
වේ. ආරම්භයේ සිටම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය
ලෙස අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට විරුද්ධ වූ අතර එවකට පැවැති J.R. රජය විසින් ඔවුනට
තිබූ අසීමිත විධායක බලතල හා පැවැති ආණ්ඩු බලය උපයෝගී කරගෙන, රාජ්‍ය ත‍්‍රස්තවාදය භාවිත කොට
රට තුළ ජාතිවාදී අරගලයන් ඇති කළ අතර එය දඩමීමා කර ගනිමින් යුක්තිය උදෙසා හඬ නගන සටන්
ව්‍යාපාර මර්ධනය කරන ලදී.
ඒ යටතේ වර්ෂ 1983 දී ශිෂ්‍ය නායකයින් විශාල ප‍්‍රමාණයක්
සිරගත කරමින්, ශිෂ්‍ය ව්‍යාපාරය
හා ශිෂ්‍ය සටන් යටපත් කරන්නට පිඹුරුපත් සකස් කරන ලදී. නමුත් එවකට සිටි ශිෂ්‍ය නායකයින්
හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම සටන් කාමිත්වය පිළිබිඹු කරමින් “ශිෂ්‍ය ක‍්‍රියාකාරි
කමිටු” නමින් නව ව්‍යුහයක් ගොඩනඟා ගනිමින්
අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ඇතුළු අධ්‍යාපන පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තීන්ට මෙන්ම විශේෂයෙන්ම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන්
කිරීමට පෙළ ගැසිණි.
ඉහත කී මර්දනයන් සමඟ ම වර්ෂ 1983 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය
පීඨයේ පැවැත්වුණු විභාගයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ද සහභාගි කරවිණි. එයට
කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ අතර ඔවුන් මීට එරෙහිව අධිකරණමය
වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළ ද එය ද ව්‍යාර්ථ විණි.
වර්ෂ 1987 පමණ වන විට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට
එරෙහි සටන තීව්‍ර වන ලකුණු පහළ වෙමින් තිබිණි. මීට ප‍්‍රධානතම හේතුව වූයේ 1987 වර්ෂයේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ
සිසුන්ට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සමඟ අවසන් වසර විභාගය සඳහා එකට මුහුණ දීමට සූදානම්
කර තිබීමයි. එහි ප‍්‍රධාන අරමුණ වූයේ ඔවුන් සියලූ දෙනාටම එකවර සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබාදීම වන අතර, ඒ වන විටත් රජයේ වෛද්‍ය පීඨයන්හි 510 ක් වූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 140 ක් පමණ දෙනාගේ සීමාවාසික පත්වීම් අහිමි කර තිබිණි.
මෙයට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් දැඩි සේ විරුද්ධ විය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ
නායකත්වය යටතේ වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී
කමිටුව විසින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කිරීමේ අරගලය දිගින් දිගට
ම ජයග‍්‍රාහී මාවත තෙක් ගෙන එන ලදී. කලූ පටි පැළඳ සිදු කළ විරෝධතාවයෙන් ඇරඹි මෙම ශිෂ්‍ය
විරෝධතා තවත් වෘත්තීය සමිති එක් කරගත් පුළුල් වැඩ වර්ජන දක්වා දිගු විය. ඊට අමතරව “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන්
පාඨයත් සමග රට පුරා පවත්වන ලද සම්මන්ත‍්‍රණ මාලාවන් මගින් පොදු ජනයා දැනුවත් කරමින්
බහුජන අරගලය ජයග‍්‍රාහී මාවතකට ඔසවා තැබූහ.
එමෙන්ම වර්ෂ 1987 සැප්තැම්බර් මස
සිට “වෙද සිසු හඬ” පුවත් පත ද රට පුරා බෙදා
හැරීමට කටයුතු කළ අතර වර්ෂ 1987 ජූලි මස සිට කොළඹ
වෛද්‍ය පීඨ සිසුන් අඛණ්ඩ පන්ති වර්ජන ක‍්‍රියා මාර්ගයකට ද අවතීර්ණ විය.
උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
ජනසතු කිරීමේ අරගලය මෙන්ම අනෙකුත් අරගලයන් ද වඩාත් තීව‍්‍ර වීමත් සමඟ පාලකයින් විසින්
විශ්ව විද්‍යාල පද්ධතිය වසා දැමීමට තිරණයක් ගනු ලැබූ අතර ඉන් පසු අන්තර් විශ්ව විද්‍යාල
ශිෂ්‍ය බලමණ්ඩලය මැදිහත් වී ”ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය” ගොඩ නගන ලදී. මෙමඟින්
දිස්ත‍්‍රික් මට්ටමේ ශිෂ්‍ය කමිටු ගොඩනගා ගනිමින් විශාල වැඩ කොටසක් සිදු කළ අතර එයින්
අරගලයට නව ජීවයක් ලැබුණි.
මර්දනය තව තවත් උත්සන්න කරමින් අන්තරේ කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය සහෝදරයා ද ඒ සමයේ
ඔවුන්ගේ ගොදුරක් කරගත්හ. රත්නපුර දිස්ත‍්‍රික් වෛද්‍ය පීඨ කමිටුවේ ප‍්‍රධානියා වූ ත‍්‍රිමා
විතාන සහෝදරයා ඇතුළු තවත් සහෝදරුන් දෙදෙනෙක් පැහැර ගැනීමට ලක් කර අමානුෂික වධ හිංසා
පමුණුවා ඝාතනය කරන ලද අතර ආණ්ඩුව උත්සාහ කරන ලද්දේ මළසිරුරු රහසේම නිවෙස් වලට යවා අවමංගල්‍ය
කටයුතු සිදු කිරීමට ය. එහෙත් සිසුන්ගේ දැඩි විරෝධතාවය මත තම සටන් සගයාගේ මළසිරුරු ලබා
ගැනීමට සමත් වූ ශිෂ්‍යයෝ, වර්ෂ 1988 නොවැම්බර් මස 03 වන දින දහස් සංඛ්‍යාත පිරිසකගේ ආචාර
මධ්‍යයේ අවමංගල්‍ය කටයුතු සිදු කළහ.
ඒ සමග ඇති වූ දැඩි ආණ්ඩු විරෝධය මෙන්ම
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද බොහෝ කැප කිරීම් හා පරිත්‍යාගයන්
මතින් ගොඩනැගුණු අරගලයේ ප්රතිඵලයක් ලෙස ඓතිහාසික ජයග‍්‍රහණයක් සනිටුහන් කරමින් උතුරු
කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමට පාලකයින්ට සිදුවිය. නූතනයේ ද කැලණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ කොට රාගම පවතිනුයේ
එලෙස ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රමුඛ බලවේගයන්ගේ කැපකිරීම් හා අරගල මතින් ජයගත් වෛද්‍ය
පීඨය යි. තම සහෝදර සටන් සගයන් එකාපිට එකා ඝාතනය කරන මෝහතකදී අභීතව මෙකී අරගලයට නායකත්වය
දුන් නිමල් බාලසූරිය, ත‍්‍රිමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සිතිර කීර්ති ජයවර්ධන, සරත් ෙකාල්ලූරේ ඇතුළු බොහෝ සහෝදරවරු පිරිසකට
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලය තුළදී මෙන්ම ඉන්පසු අරගලවලදී තම ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවිය. අද දවසේද භුක්ති විදිමට මේ තරමින් හෝ නිදහස් අධ්‍යාපනය
ආරක්ෂාව පවතිනුයේ ඔවුන් තම අභිමතාර්ථයන් වෙනුවට සමස්ථ සමාජයක අයිතීන් උදෙසා සිදුකළ
උදාරතර කැපකිරීම්ය.
ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරනු ලැබූ අරගල
මතින් පරාජයට පත් කළ පෞද්ගලීකරණ ප්‍රතිපත්ති
නූතනයේ දී ද විවිධ වෙස් ගෙන නැවත නැවතත් SAITM, ආසිරි - ඇබර්ඞීන් ආදී නම් වලින් පෙනී සිටිති. එම නිසා
ජීවිත පරිත්‍යාගයෙන් මෙන්ම රුධිරයෙන් තෙත් ව පෝෂණය ලද නිදහස් අධ්‍යාපනය නැමැති රුක්ෂයේ
ඵල මතු පරපුර වෙනුවෙන් දායාද කරනු වස් ඔබටත් මටත් හෙට දින එක්ව කිරීමට සටනක් ඇත. එය පිණිස එක්ව පෙළ ගැසෙමු.



