Tuesday, June 8, 2021

සාගරය ගැන ආදරයෙන් ලියමි

No comments :


 පරිණාමවාදයට අනුව ජීවියාගේ මූලික අවදිය ගොඩ නැගී ඇත්තේ සාගරයෙනි. එබැවින් ලෝකයම ජීවියෙක් ලෙස ගත් කල ජීවයේ රුධිරය බෙදාහරින හදවත ලෙස සාගරය හැදින්වූවාට වරදක් නැති බව කිව හැක. තවත් අතකින්  ජීවයේ පැවැත්මට සාගරය විශාල කාර්යයක් ඉටු කරයි. පොලෝ තලයෙන් සියයට 70 ට වඩා වැඩි කොටසක් සාගරය වෙන් කිරීමම එහි වටිනාකම හඟවන්නට සොබාදහම ගත් උපායක් වන්නට බැරි නැත. නමුත් මුදල් මූලික කරගෙන ජීවත් වෙන මෙම සමාජයේ දියුණු යැයි සිතා සිටින මිනිසා බොහෝ විට එය තේරුන ද නොතේරෙන ලෙස කටයුතු කරමින් සිටින බව අපට දැකගත හැකි ය. 

මිහිතලයේ හදවත බදු වූ සාගරය මිනිසාගේ සුබ සිද්ධිය උදෙසා සිදු කරන දෑ අති මහත් ය. ප්‍රධාන වශයෙන් සාගරය ලොව පුරා විවිධ දේශගුණික තත්වයන් නියාමනය කරන අතර මිහිමත මිලියන ගණනක ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරාලයි. හුස්ම දෙන බව දැන දැනත් ගහකොළ විනාශ කරන සමාජයක ලෝක ඔක්සිජන් සැපයුමෙන් සියයට 50කට වඩා සපයන බව නොදැන සාගරය වැනසීම පුදුම වීමට කරුණක් නොවනු ඇත. එසේම සාගරය යනු මිනිසාගේ සෞඛ්‍යමත් යහපැවැත්ම උදෙසා අවැසි බොහොමයක් ඔසු වර්ගවලින් සමන්විත වූවකි. එපමණක් නොව මහ සයුර පාරිසරික වශයෙන් වැදගත් වන මුහුදු ජීවින් දහස් ගණනකගේ නිවහනද වෙයි. එසේම තවත් වැදගත් කරුණක් නම් සාගරය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන ජල චක්‍රයේ ප්‍රමුඛතම අංගය ලෙස ක්‍රියා කිරීම දැක්විය හැකි ය. තවද මිනිසාට ආර්ථික වශයෙන් වැදගත් වන ඛණිජ සම්පත් රැසක් ලබාදීමට සාගරය සමත් වේ. එපමණක් නොව ශ්‍රී ලංකාව, මාලදිවයින වැනි සයුරට මායිම් වන රටවල් බොහොමයකට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සදහා මහ සයුර ලබා දෙන දායකත්වය ද අති විශාල ය. තවද වෙරළ ආශ්‍රිත ධීවර ජනතාවගේ ජීවිත ද සාගරය සමඟ බද්ධ වී ඇත. 

නමුත් වර්තමානය වන විට මේ තරම් විශාල සේවාවක් සිදුකරන මහ සයුරට අත්කර ඇති ඉරණම ඉතාමත් ඛේදජනක ය. ප්‍රධාන වශයෙන් මේ සියලු ගැටලුවල මූලාරම්භය අපද්‍රව්‍ය බැහැර කීරීමේ ක්‍රයාවලියයි. නොදැනුවත්ව හෝ දැනුවත්ව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රධාන මාධ්‍ය ජලය වී ඇත. එහි අවසාන ගමනාන්තය සාගරය බව බොහෝ දෙනා ගනන් නොගන්නා කරුණක් වී ඇත. උදාහරණයක් ලෙස ගංගා ඇළ මාර්ගවලට එක් වන දූශිත අපද්‍රව්‍ය ප්ලාස්ටික් පොලිතීන් වැනි දේ දැක්විය හැකි ය.

මේ අතරින් සමුද්‍ර දූෂණය සිදුවන ප්‍රධාන මාර්ගයක් ලෙස සයුරට තෙල් බැහැර වීම දැක්විය හැකි ය. ඉන්ධන වශයෙන් භාවිතා කරන ඛණිජ තෙල් වෙරළාසන්න ප්‍රදේශවලදී මෙන්ම මහ සයුරේදී ද කැණීම්වලට ලක් කෙරේ. ඒවායින් සිදුවන කාන්දුවීම් මගින් හා ඉන්ධන ප්‍රවාහනය කරන නෞකා මෙන්ම සයුරේ යාත්‍රා කරන අනෙකුත් නෞකා අනතුරට ලක්වීමෙන් තෙල් විසිරීම් සිදුවීමට ඉඩකඩ පවතී. මේ සදහා හොඳම මෙන්ම අපට මෑතකදී සමීපම උදාහරණයක් ලෙස පසුගිය දා සයුරේදී ගිනි ගැනීමට ලක් වූ "එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් " නෞකාව සම්බන්ධ සිද්ධිය දැක්විය හැකි ය. මෙහිදී නෞකාවේ තිබූ ප්ලාස්ටික් පෙති හා අනෙකුත් අන්තරාදායක අපද්‍රව්‍යන් මිලියන ගණනක් දැනටමත් මහ සයුරට එකතු වී අවසන්‍ ය. මෙහිදී සිදු වී ඇති පරිසර දූෂණය තවමත් ගණනය කළ නොහැකි මට්ටමේ පැවතීමද කණගාටුවට කරුණකි. නමුත් අප රටේ අමන පාලකයින් මෙම ගණනය පවා සිදුකළ නොහැකි පරිසර දූෂණය හුදෙක්ම වන්දියකට පමණක් සීමා කිරීම හුස්ම වැටෙන සෑම අයෙකුම හෙළාදැකිය යුතු ය. 

මේ අතර අක්‍රමවත් කසල බැහැර කිරීමේ ක්‍රයාවලිය නිසා සාගරයට වන හානිය තෙල් වලින් වන හානියට දෙවනි නැත. 1950 දෙවියන්ගේ තිළිණයක් ලෙස නම් කල පොලිතීන් හා ප්ලාස්ටික් අද වන විට දේව ශාපයක් වී හමාරය.  එමඟින් විශාලම හානිය සිදු වූයේ සාගරයට බව අමුතුවෙන් කිවයුතු නැත. මේ වන විටත් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.25 සාගරයේ පාවෙමින් තිබෙන බව තවමත් ඔබ නොදන්නවා වීමට පුලුවන. එසේම වසරකට මෙට්‍රික් ටොන් මිලියන 8.3 ක් සාගරයට එකතු වෙමින් පවතී. බරපතලම කාරණය නම් මේ ප්ලාස්ටික් , සූර්යා ලෝකය හා සාගර රසායන හා ප්‍රතික්‍රියාව මගින් නිකුත් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් (micro plastic )

සාගරයට එකතුවීමයි. එය සාගර ජීවීන්ට අහිතකර ප්‍රතිඵල අත් කර දෙන්නකි. එසේම ඒවා සාගර ජිවීන් මගින් බොහොම පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල් විය හැක. මෙය දීර්ඝ කාලීන බලපෑම් ඇති කරන තත්ත්වයකි. නොයෙකුත් අසාත්මිකතා, පිළිකා තත්ත්ත්ව, වසංගත තත්ව මේ මගින් ඇති විය හැකි බව මේ වන විට සොයාගෙන හමාරය. මීට අමතරව සමුද්‍ර දූෂණයට බලපාන තවත් හේතු ලෙස ශ්‍රී ලංකාව මෙන්ම බොහෝ රටවල සයුරට මළ ද්‍රව්‍ය බැහැර කිරීම, ගැඹුරු මුහුදේ සිදුවන කැණීම් මගින් භූගත විෂ රසායනික ද්‍රව්‍ය නිදහස් වීම, වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඉහළ යාම නිසා සාගරයේ ආම්ලිකතාවය වැඩි වීම ආදිය දැක්විය හැකි ය. 

  මොන යම් හෝ ලෙස සාගරය රැක ගැනීමටද සුලු හෝ මිනිස් ප්‍රජාවක්, මිනිසා තුළින්ම බිහිවීම සොබාදහමේ සමබරතාවය තහවුරු කරන්නක් බව මට හැඟිණි.  අණ පනත් , නීති රීතීන් ගෙන එමින් සාගරයේ සුරැකුමට කිසියම් හෝ දායකත්වයක් එමගින් ලැබී ඇත. නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔබටම හැඟෙනු ඇත.  

කණගාටුවට කරුණ නම් , ලෝකයේ සාගර දූෂණය වැඩිම රටවල් අතර පස් වන තැනට  ලෝකෙන්ම උතුම් රට පත්වී ඇති බවයි. එය නූගත් පරිපාලනයේ අඩම්බරයට හේතු වී ඇති බව පසුගිය සිද්ධි වලින් පසක් වී හමාරය. පරිපාලනයට පමනක් නොව , සමාජයටම අවසාන වශයෙන් මෙසේ ලියමින් නවතිමි.