Monday, September 12, 2022
මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය උළෙල
ලාංකේය සමාජ ඉතිහාසයේ කළු පැල්ලමක් වූ 80 දශකයේ ජාතිවාදී ජන සංහාරයෙන් පසු 1994 දී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කලාවේ කාර්යභාර්ය මැනවින් හදුනාගෙන සමස්ත මානව පැවැත්මටත්,කලාවටත් සතුරු වූ සමාජ ක්‍රමය වෙනස් කිරීමෙහිලා මිනිසා තුළ බුද්ධිමය ප්‍රබෝධයක් ඇති කිරීම උදෙසා ගත් කලාත්මක ආරම්භයක් ලෙසින් අද දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය එකමුතුවෙන් වාර්ෂිකව සංවිධානය වන කලා උළෙලවල් හැදින්විය හැකිය.
ඒ අනුව ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරෙයේ පේරාදෙණිය අනුකණ්ඩය ලෙස " මාගේ දේශය අවදි කරනු මැන " ශිෂ්‍ය සාහිත්‍ය උළෙල මෙවර සංවිධානය වන්නේ ඉතාමත් තීරණාත්මක සමාජ වටපිටාවක් අභිමුවයි. අධ්‍යාපනය,සෞඛ්‍යය,ආර්ථිකය ආදිය මෙන්ම කලාව සාහිත්‍යය ආදිය ද වත්මන් ධනේෂ්වර සමාජ ක්‍රමය තුළ වෙළඳ භාණ්ඩයක් බවට පත් කර තිබේ.එවැනි පසුබිමක් තුළ කලාව තවදුරටත් ලාභ ලබන හා හුදු විදනය පරිභෝජනය කරන වෙළඳ භාණ්ඩයක් යන තත්ත්වයෙන් මුදවාගෙන, මානව සමාජයක් ලෙස මිනිසාට මුණුණ දීමට සිදුව තිබෙන සැබෑ ප්‍රශ්න පිළිබඳ සවිඥ්ඥානිකත්වය ඇති කිරීමටත්, ජාති-ආගම් කුල-මල පසෙකලා මානව දයාව ,සාමූහිකත්වය,සමානාත්මතාවය ආදී අගයන් මිනිස් මනසෙහි රෝපණය කිරීමේ අරමුණෙන් යුතුව ජාතිවාදී කලාවක් උදෙසා අපගේ මෙම කලා කටයුතු සිදු කිරීම කාලීන වගකීමක් බව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අපි සලකන්නෙමු.
ධනෙව්ෂ්වර අධ්‍යාපන ක්‍රියාවලිය හේතුවෙන් අනාගතයේ දැනුමෙන් පමණක් සන්නද්ධව හුදු යන්ත්‍ර බවට පත්වීම වෙනුවට,ගැහෙන හදවතකින් යුතුව සමාජ ප්‍රශ්න දෙස සංවේදීව දකින මිනිස් සමාජයක් මෙම සාහිත්‍ය උළෙල තුළින් බිහි කිරීම මෙවැනි සාහිත්‍ය උළෙලක් සංවිධානය කිරීමේ අරමුණයි.
කලාත්මක බව ඇත්තේ අපට දෘෂ්‍යමාන වන වස්තූන්ගෙන් නොව,එම වස්තු දෙස අප බලන ආකාරයට අනුවයි.නමුත් සමාජ ප්‍රකෘතිය වසන් කරමින් ෆැන්ටසි ලෝකයක් නිර්මාණය කර,සැබෑ සමාජ විඥානය වළලා තිබෙන මේ මොහොතේ විදග්ධ යැයි පවසන කලාකරුවන් කලාව වෙළඳ භාණ්ඩයක් කර ලාභ ලැබීමේ ඊනියා සදාචාරාත්මක අපරාධය සිදු කරමින් කලාව මිනිස් ජීවිත තුළින් විතැන් කර ඇති යුගයක වාණිජකරණයට යට නොවූ යුක්තිගරුක මානව හිතවාදී සමාජයක් ගොඩනැගීම උදෙසා මෙවර "මගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල " අඳුරට එරෙහිව කලාව " තේමා කර ගනිමින් සංවිධානය කරනු ලැබීය.දෙවසරක පමණ දිගු නිහැඩියාවකට පසු 2022 වර්ෂය සඳහා භෞතිකව මෙම කලා උළෙල ඉතාමත් සාර්ථකව සංවිධානය කිරීමට පවතින ආර්ථික ,දේශපාලන වටපිටාව තුළ ඉඩහසර වෙන් කරවා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුවට හැකියාව ලැබී තිබේ.වසර 27ක් පමණ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන්නා වූ මෙකී සාහිත්‍ය උළෙල විවිධ වූ සාහිත්‍යමය වැඩසටහන් කලාත්මක රසවින්දනයක් ලෙසින් මානව සමාජයට දායාද කරයි.සමාරම්භක උළෙලෙන් ආරම්භ වී මසක පමණ කාලයක් පුරාවට සාහිත්‍ය කඳවුරු,සංස්කෘතික උළෙල,වල සතිය,ප්‍රදර්ශන කුටි,ශාන්ත බණ්ඩාර අනුස්මරණ විවාද තරඟාවලිය,කැඩපත,විහඟසර,නිර්මාණ කැඳවීම,වසන්තයේ අග,රූසර ඩිජිටල් නිර්මාණ කැඳවීම ආදී අංග රැසකින් වර්ණවත් වී සමාප්ති උළෙලකින් අවසන් වේ.
අර්බුද මැද අවසන් ගමන් යන සමසෞඛ්‍ය උපාධියේ හෙට දවස....
වියරු ආර්ථික ඝාතකයන්ගේ මර උගුලට හසුව සමස්ත ලාංකේය ජාතියම මේ වන විට දැඩි ආර්ථික උද්ධමනය හමුවේ අවසන් සුසුම් හෙළන මොහොතක ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්ව ඇති ඉරණම ඛේදනියයි. මක් නිසාද යත් මේ මොහොතේ රෝහල් තුල අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක්, ශල්‍ය උපකරණ හිඟයක් පවතින අතර මෙම දුර්ධාන්ත පාලනයේ වරදින් මේ වන විට ඖෂධ මිල 1300%කින් වැඩි වී ඇත.
එවන් මොහොතක මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මහපාරට පැමිණෙන ජනයා මර්දනයෙන් අවසන් කරන්නට දැවැන්ත අන්දමින් මිල මුදල් වියදම් කරන රජයට කඩා වැටෙමින් පවතින මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මිල මුදල් වියදම් කිරීමට අමතකව ඇත. ඉතිහාසයේ පටන් විකිණීම මූලික කරගත් ධනේශ්වර පාලකයන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම ස්භාවික මරණයකට ලක් කර ඇති මොහොතක සමසෞඛ්‍ය උපාධිධාරීන්ට අත් කර ඇති ඉරණමයි මේ....
ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මකභාවය ඉහල නැවීම අරමුණු කරගනිමින් ඇරඹුන සමසෞඛ්‍ය උපාධිය හැදැරීමට උසස් පෙළ වන් අතිශය තරඟකාරී විභාගයකින් සමත්ව ඉහළ ඉසෙඩ් අගයක් සහිතව නිදහස් අධ්‍යාපනයෙන් නඩත්තුවන රාජ්‍ය විශ්වවිද්‍යාල කරා පැමිණ තම උපාධිය සම්පූර්ණ කරන උපාධිධාරීන් මේ වන විට රාජ්‍ය සේවයට බඳවාගැනීමේ නිශ්චිත පටිපාටියක් සකස් කිරීමට අමතකව ඇති රජය, ඒ වෙනුවට මුදලට සමසෞඛ්‍ය උපාධිය විකුණන කොතලාවල උපාධි කඩයේ උපාධිය රාජ්‍ය සේවයට පිලිගනිමින් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ හොර පාරක් මේ වන විටත් නිර්මාණය කර අවසන් ය. සමස්ත නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය මුදලට විකිණෙන යුගයක පාදම තනන්ට සැරසෙන මෙම ප්‍රතිපත්තීන්ට අප විරුද්ධ විය යුතු නොවේද...?
මේ ගැන දිගින් දිගටම සමසෞඛ්‍ය ශිෂ්‍යයන් ලෙස අප අවධාරණය කල අතර විසදුමක් නොවූ තැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී දැවැන්ත විරෝධතාවයක් සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුකල අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් හිමි විය.
එහිදී මතුවූ බරපතලම කාරණය වූයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ ඖෂධවේදී දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙනි. එහිදී ප්‍රකාශ වූ කරුණු අනුව මේ වන විට අවසන් වසර සිටින ඖෂධවේදී ඩිප්ලෝමාධාරීන්ටද , පලමු වසර සිටින ඩිප්ලෝමාධාරීන්ටද රාජ්‍ය සේවයේ වන පුරප්පාඩු නිර්මාණය වූ පසුව 2014 වසර කණ්ඩායම රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවත් , එයට නිශ්චිත කාල වකවානුවක් ප්‍රකාශ කල නොහැකි බව සඳහන් විය. එමෙන්ම සමසෞඛ්‍ය ශිෂ්‍යයන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ දී නිශ්චිත අනුපිළිවෙලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණයෙන් ඉදිරියේ දී සැකසෙන බවත් නමුත් එය දැනට උපාධිය සම්පූර්ණ කල වසර කණ්ඩායම් වලට යොදාගත නොහැකි බවත් , විශේෂයෙන්ම දැනට පුරප්පාඩු ගැටළුවට මුහුණ දී සිටින භෞතචිකිත්සක දෙපාර්තුමේන්තුවේ ශිෂ්‍යයන් බඳවාගැනීමේ දී විභාගයක් පවත්වා ඒ ඔස්සෙ බඳවාගැනීමේ සූදානමක් පිලිබදව අදහසක් මතු වූ අතර එහි දී පෞද්ගලික උපාධි කඩවලින් උපාධිය ලබාගත් ශිෂ්‍යයන් ද නිදහස් අධ්‍යාපනයෙන් නඩත්තු වන රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද එකම පෝලිමක සිටිය යුතු බැවින් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසින් අප එයට දැඩිව විරුද්ධ වූ අතර කොතලාවල උපාධි කඩයේ උපාධිය රාජ්‍ය සේවය සඳහ පිලිගැනීම සිදු නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු කල නොහැක්කක් බව ඔවුන් ප්‍රකාශ කරන ලදී. නමුත් ශිෂ්‍යයන් කල බලපෑම හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාසයක් තුල සෞඛ්‍ය අමාත්‍යාංශය , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව , උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව නැවත මෙම ගැටළු වලට විසදුම් සහිත සාකච්ඡාවක් ලබා දීමට එකඟ වුවත් මේ වන විට එය ද කල් තබා ඇත.
එබැවින් නිශ්චිතවම ඉල්ලීම් දිනා ගන්නා තුරු අප සටන් වැදිය යුතුව ඇත. නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය රැක ගැනීම පෙරටු කර ගත් මේ අරගලය තවදුරටත් පුළුල්ව පෙරට ගමන් කල යුතුව ඇත.
ඒ වෙනුවෙන් එක්වෙමු...!
එක්ව සංවිධානය වෙමු...!!
එක්ව සටන් වදිමු...!!!
Monday, February 21, 2022
බලශක්ති අර්බුදය
ස්වභාවික සම්පතක්, භාවිත කළ හැකි ශක්තියක් බවට පත්කරගත හැකිනම් එය බලශක්ති ප්‍රභවයක් ලෙස හඳුනා ගැනේ. බලශක්තිය යනු බලශක්ති ප්‍රභවයන්ගෙන් විවිධ අරමුණු සඳහා නිපදවා ගන්නා ශක්තිය යි. මෙම බලශක්තීන් පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන බලශක්ති ලෙස ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මානව කාල පරාසයක් තුළ නැවත නැවත සම්පාදනය වේ. ජෛව ස්කන්ධ(දැව), ජෛව ඉන්ධන, ජල විභවය, සූර්‍යය ශක්තිය හා සුළං බලය මේ අතර ප්‍රධාන ස්ථානයක් ගනී. පුනර්ජනනීය නොවන එනම් මානව කාල පරාසයක් තුළ නැවත සම්පාදනය නොවන බලශක්ති ප්‍රභවයන් ලෙස ගල් අඟුරු, බොර තෙල්, ස්වභාවික වායු දියරයන් වැනි පොසිල ඉන්ධන හා න්‍යෂ්ටික ශක්තිය සැලකිය හැක.
ලොව පුරා විවිධාකාර බලශක්ති ප්‍රභවයන් පවතියි. විවිධ රටවල විවිධ බලශක්තීන් භාවිතා කරයි. එම තෝරා ගැනීමේ හැකියාව රටේ ස්වභාවික පිහිටීම, දේශපාලන ස්වභාවය හා ආර්ථික මූලධර්ම මත පදනම් වෙයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ විවිධ ස්වරූපයෙන් බලශක්තීන් පවතියි. ඒවා ආනයනය කර බලශක්ති අවශ්‍යතාව සපුරාගත හැක.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රභවයන් ලෙස බහුලව ජෛව ස්කන්ධ(දැව), බොර තෙල්, එල් පී වායුව, ගල් අඟුරු වැනි ප්‍රභවයන් යොදා ගනියි. මේවායින් බොරතෙල් හා එල් පී ඇතුළු පිරිපහදු නිෂ්පාදනයන් ගෘහාශ්‍රිත, වානිජ, කර්මාන්ත හා ප්‍රවාහන කර්තව්‍යයන් තුළ බහුලව භාවිතාවට ගැනේ. ශ්‍රී ලංකාවේ පිහිටා නැති මෙම ප්‍රභවයන් විදෙස් වෙළෙඳපොළකින් ආනයනය කිරීමට සිදුවේ. වර්තමානයේ මතුව ඇති ඩොලර් අර්බුදයත්, කිහිපදෙනෙකුට වාසි සහගත වන ගිවිසුම් හා අත්තනෝමතික තීරණ නිසා අද වනවිට අප දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ඔබ අප සියලු දෙනාම දන්නා කරුණකි. විදුලි කප්පාදු, ජල ඇණහිටීම්, ඉන්ධන හිඟය ආදිය මෙහි ප්‍රතිඵල වේ.
ශ්‍රී ලංකා අප භූමියේ සමකාසන්න පිහිටීම නිසා නිරන්තරයෙන් ලැබෙන සූර්‍යාලෝකයත්, දිවයිනක් වීම හේතුවෙන් රට වටා ඇති ඉන්දියන් සාගරය හරහා හමා එන සුලඟ හා උදම් රළත් රට පුරා ඇති ගංඟාවන්ගේ ජල විභවයත් අප මෙතෙක් අවම වශයෙන් භාවිතා කළ එහෙත් අපට මුදල් නොගෙවාම ලැබෙන ස්වාභාවික ශක්ති ප්‍රභවයන් වේ. ජල විදුලි බලාගාර කිහිපයක් හා ටර්බයින කීපයක් හැරුණුකොට වෙනත් ප්‍රභවයන්ගේ භාවිතාවක් දකින්නට නැති වීම කණගාටුවට කරුණකි.
Tuesday, June 8, 2021
සාගරය ගැන ආදරයෙන් ලියමි
පරිණාමවාදයට අනුව ජීවියාගේ මූලික අවදිය ගොඩ නැගී ඇත්තේ සාගරයෙනි. එබැවින් ලෝකයම ජීවියෙක් ලෙස ගත් කල ජීවයේ රුධිරය බෙදාහරින හදවත ලෙස සාගරය හැදින්වූවාට වරදක් නැති බව කිව හැක. තවත් අතකින් ජීවයේ පැවැත්මට සාගරය විශාල කාර්යයක් ඉටු කරයි. පොලෝ තලයෙන් සියයට 70 ට වඩා වැඩි කොටසක් සාගරය වෙන් කිරීමම එහි වටිනාකම හඟවන්නට සොබාදහම ගත් උපායක් වන්නට බැරි නැත. නමුත් මුදල් මූලික කරගෙන ජීවත් වෙන මෙම සමාජයේ දියුණු යැයි සිතා සිටින මිනිසා බොහෝ විට එය තේරුන ද නොතේරෙන ලෙස කටයුතු කරමින් සිටින බව අපට දැකගත හැකි ය.
මිහිතලයේ හදවත බදු වූ සාගරය මිනිසාගේ සුබ සිද්ධිය උදෙසා සිදු කරන දෑ අති මහත් ය. ප්‍රධාන වශයෙන් සාගරය ලොව පුරා විවිධ දේශගුණික තත්වයන් නියාමනය කරන අතර මිහිමත මිලියන ගණනක ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරාලයි. හුස්ම දෙන බව දැන දැනත් ගහකොළ විනාශ කරන සමාජයක ලෝක ඔක්සිජන් සැපයුමෙන් සියයට 50කට වඩා සපයන බව නොදැන සාගරය වැනසීම පුදුම වීමට කරුණක් නොවනු ඇත. එසේම සාගරය යනු මිනිසාගේ සෞඛ්‍යමත් යහපැවැත්ම උදෙසා අවැසි බොහොමයක් ඔසු වර්ගවලින් සමන්විත වූවකි. එපමණක් නොව මහ සයුර පාරිසරික වශයෙන් වැදගත් වන මුහුදු ජීවින් දහස් ගණනකගේ නිවහනද වෙයි. එසේම තවත් වැදගත් කරුණක් නම් සාගරය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන ජල චක්‍රයේ ප්‍රමුඛතම අංගය ලෙස ක්‍රියා කිරීම දැක්විය හැකි ය. තවද මිනිසාට ආර්ථික වශයෙන් වැදගත් වන ඛණිජ සම්පත් රැසක් ලබාදීමට සාගරය සමත් වේ. එපමණක් නොව ශ්‍රී ලංකාව, මාලදිවයින වැනි සයුරට මායිම් වන රටවල් බොහොමයකට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සදහා මහ සයුර ලබා දෙන දායකත්වය ද අති විශාල ය. තවද වෙරළ ආශ්‍රිත ධීවර ජනතාවගේ ජීවිත ද සාගරය සමඟ බද්ධ වී ඇත.
නමුත් වර්තමානය වන විට මේ තරම් විශාල සේවාවක් සිදුකරන මහ සයුරට අත්කර ඇති ඉරණම ඉතාමත් ඛේදජනක ය. ප්‍රධාන වශයෙන් මේ සියලු ගැටලුවල මූලාරම්භය අපද්‍රව්‍ය බැහැර කීරීමේ ක්‍රයාවලියයි. නොදැනුවත්ව හෝ දැනුවත්ව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රධාන මාධ්‍ය ජලය වී ඇත. එහි අවසාන ගමනාන්තය සාගරය බව බොහෝ දෙනා ගනන් නොගන්නා කරුණක් වී ඇත. උදාහරණයක් ලෙස ගංගා ඇළ මාර්ගවලට එක් වන දූශිත අපද්‍රව්‍ය ප්ලාස්ටික් පොලිතීන් වැනි දේ දැක්විය හැකි ය.
මේ අතරින් සමුද්‍ර දූෂණය සිදුවන ප්‍රධාන මාර්ගයක් ලෙස සයුරට තෙල් බැහැර වීම දැක්විය හැකි ය. ඉන්ධන වශයෙන් භාවිතා කරන ඛණිජ තෙල් වෙරළාසන්න ප්‍රදේශවලදී මෙන්ම මහ සයුරේදී ද කැණීම්වලට ලක් කෙරේ. ඒවායින් සිදුවන කාන්දුවීම් මගින් හා ඉන්ධන ප්‍රවාහනය කරන නෞකා මෙන්ම සයුරේ යාත්‍රා කරන අනෙකුත් නෞකා අනතුරට ලක්වීමෙන් තෙල් විසිරීම් සිදුවීමට ඉඩකඩ පවතී. මේ සදහා හොඳම මෙන්ම අපට මෑතකදී සමීපම උදාහරණයක් ලෙස පසුගිය දා සයුරේදී ගිනි ගැනීමට ලක් වූ "එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් " නෞකාව සම්බන්ධ සිද්ධිය දැක්විය හැකි ය. මෙහිදී නෞකාවේ තිබූ ප්ලාස්ටික් පෙති හා අනෙකුත් අන්තරාදායක අපද්‍රව්‍යන් මිලියන ගණනක් දැනටමත් මහ සයුරට එකතු වී අවසන් ය. මෙහිදී සිදු වී ඇති පරිසර දූෂණය තවමත් ගණනය කළ නොහැකි මට්ටමේ පැවතීමද කණගාටුවට කරුණකි. නමුත් අප රටේ අමන පාලකයින් මෙම ගණනය පවා සිදුකළ නොහැකි පරිසර දූෂණය හුදෙක්ම වන්දියකට පමණක් සීමා කිරීම හුස්ම වැටෙන සෑම අයෙකුම හෙළාදැකිය යුතු ය.
මේ අතර අක්‍රමවත් කසල බැහැර කිරීමේ ක්‍රයාවලිය නිසා සාගරයට වන හානිය තෙල් වලින් වන හානියට දෙවනි නැත. 1950 දෙවියන්ගේ තිළිණයක් ලෙස නම් කල පොලිතීන් හා ප්ලාස්ටික් අද වන විට දේව ශාපයක් වී හමාරය. එමඟින් විශාලම හානිය සිදු වූයේ සාගරයට බව අමුතුවෙන් කිවයුතු නැත. මේ වන විටත් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.25 සාගරයේ පාවෙමින් තිබෙන බව තවමත් ඔබ නොදන්නවා වීමට පුලුවන. එසේම වසරකට මෙට්‍රික් ටොන් මිලියන 8.3 ක් සාගරයට එකතු වෙමින් පවතී. බරපතලම කාරණය නම් මේ ප්ලාස්ටික් , සූර්යා ලෝකය හා සාගර රසායන හා ප්‍රතික්‍රියාව මගින් නිකුත් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් (micro plastic )
සාගරයට එකතුවීමයි. එය සාගර ජීවීන්ට අහිතකර ප්‍රතිඵල අත් කර දෙන්නකි. එසේම ඒවා සාගර ජිවීන් මගින් බොහොම පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල් විය හැක. මෙය දීර්ඝ කාලීන බලපෑම් ඇති කරන තත්ත්වයකි. නොයෙකුත් අසාත්මිකතා, පිළිකා තත්ත්ත්ව, වසංගත තත්ව මේ මගින් ඇති විය හැකි බව මේ වන විට සොයාගෙන හමාරය. මීට අමතරව සමුද්‍ර දූෂණයට බලපාන තවත් හේතු ලෙස ශ්‍රී ලංකාව මෙන්ම බොහෝ රටවල සයුරට මළ ද්‍රව්‍ය බැහැර කිරීම, ගැඹුරු මුහුදේ සිදුවන කැණීම් මගින් භූගත විෂ රසායනික ද්‍රව්‍ය නිදහස් වීම, වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඉහළ යාම නිසා සාගරයේ ආම්ලිකතාවය වැඩි වීම ආදිය දැක්විය හැකි ය.
මොන යම් හෝ ලෙස සාගරය රැක ගැනීමටද සුලු හෝ මිනිස් ප්‍රජාවක්, මිනිසා තුළින්ම බිහිවීම සොබාදහමේ සමබරතාවය තහවුරු කරන්නක් බව මට හැඟිණි. අණ පනත් , නීති රීතීන් ගෙන එමින් සාගරයේ සුරැකුමට කිසියම් හෝ දායකත්වයක් එමගින් ලැබී ඇත. නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔබටම හැඟෙනු ඇත.
කණගාටුවට කරුණ නම් , ලෝකයේ සාගර දූෂණය වැඩිම රටවල් අතර පස් වන තැනට ලෝකෙන්ම උතුම් රට පත්වී ඇති බවයි. එය නූගත් පරිපාලනයේ අඩම්බරයට හේතු වී ඇති බව පසුගිය සිද්ධි වලින් පසක් වී හමාරය. පරිපාලනයට පමනක් නොව , සමාජයටම අවසාන වශයෙන් මෙසේ ලියමින් නවතිමි.
Wednesday, March 17, 2021
නිදහස් අධ්‍යාපනය අයිතියක් කළ පැරිස් කොමියුනය...
ලොව පුරා වෙසෙන නිර්ධන පන්තියට තම විමුක්තිය උදා කර ගැනීමට හැකි බව ලොවට පසක් කරමින් බිහි වූ පැරිස් කොමියුනයට වසර 150 ක් පිරෙන අද දින එම ඉතිහාසය ගෙනහැර දැක්වීම සුදුසු යැයි අපි කල්පනා කළෙමු.
සමාජ සංවර්ධනයේ දී පන්ති සටන තීරණාත්මක කාර්යයක් ඉටුකර ඇත. එම පන්ති සටන් වල ජය බිමක් ලෙස ප්‍රංශය හඳුනාගත හැක. ලෝකයම අඳුරේ ගිල්වමින් තිබූ මධ්‍යතන යුගය අවසන් කරමින් වැඩවසම් සමාජය පෙරලා දමා ධනවාදයට ප්‍රංශය විවෘත වූ ප්‍රංශ විප්ලවය සිදු වූයේ 1789 දී ය. ඉන්පසුව ද ප්‍රංශය පුරා කම්කරු සටන් නිරන්තරයෙන් දක්නට ලැබුණි.
1860 දශකය වන විට ප්‍රංශයේ පැවතියේ ලුවී නැපෝලියන්ගේ රාජාණ්ඩු පාලනයක් වන අතර එම කාල වකවානුවේ ප්‍රංශය හා ජර්මනිය අතර යුදමය තත්ත්වයක් උද්ගතව පැවතුණි. 1870 ජුනි 19 වැනි දින ප්‍රංශ හමුදාව ජර්මනිය ආක්‍රමණය කළ නමුත් සැප්තැම්බර් 02 වැනි දින වන විට නැවත ජර්මනියට යටත් වීමට සිදුවිය. ප්‍රංශය මුහුණදුන් මෙම තත්ත්වයන් හමුවේ රට තුළ රජුට එරෙහිව විරෝධතා ඇති වූ අතර ඒවා තම වාසියට හරවා ගනිමින් ඇඩොල්ෆ් තියරේස් ප්‍රමුඛ ප්‍රංශ ධනපතියෝ තාවකාලික සමූහාණ්ඩුවක් ස්ථාපිත කර ගැනීමට ක්‍රියා කළහ.
1870 සැප්තැම්බර් 18 වැනි දින ජර්මන් හමුදා ප්‍රංශය ආක්‍රමණය කිරීමට සූදානම් විය. ඊට එරෙහිව වීරෝධාර ලෙස නැඟී සිටි පැරිස් කම්කරුවන් නිර්ධන පන්ති රාජ්‍යයක් ගොඩ නැගීමට උත්සහ කරනු ලැබූ අතර 1871 මාර්තු 18 වැනි දින එනම් අද වැනි දිනක විසින් පැරිසියේ බලය තමන් වෙත පවරා ගනිමින් ලෝකයේ පළමු නිර්ධන පන්ති රාජ්‍ය වන පැරිස් කොමියුනය පිහිටුවා ගන්නා ලදි. පැවති මෙම යුධමය තත්ත්වය හමුවේ ජර්මනිය සහ ප්‍රංශයේ ධනපති සමූහාණ්ඩුව කම්කරු විරෝධී ගිව්සුමක් ඇති කරගත්ත ද සමූහාණ්ඩුවාදීන් පළවා හැරීමට ප්‍රංශ කම්කරුවන් සමත් විය.
මෙලෙස ස්ථාපිත කර ගත් නිර්ධන පන්ති රාජ්‍යය තුළ ක්‍රියාත්මක කළ තීන්දු තීරණ පිළිබඳව විමසා බැලීමේ දී පහත සඳහන් දෑ වැදගත් වේ.
- රජය සතුව පැවති ස්ථාවර සන්නද්ධ හමුදා අහෝසි කරමින් කම්කරු ආරක්ෂක කමිටු ගොඩ නැගීමට කොමියුනය විසින් කටයුතු කිරීම.
- කොමියුනයේ පාලනය තුළ පල්ලිය සහ රාජ්‍යය එකිනෙකින් වෙන් කිරීම සහ ආගමික සංස්ථා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා නොදුන් පල්ලි සතු දේපොළ සියල්ල පොදු දේපළක් විය යුතු බව ද කොමියුනය විසින් තීරණය කිරීම.
- කම්කරුවන් සහ නිළධාරින් අතර පැවති වැටුප් විෂමතාවය ඉවත් කිරීම.(නිළධාරින්ගේ වැටුප කම්කරුවන්ගේ වැටුප නොඉක්මවිය යුතු බව තීරණය කිරීම.)
- දිළිඳු පවුල් සඳහා සහනාධාර ලබා දීමට කටයුතු කිරීම. විශේෂයෙන් නගරයේ බේකරිවල රාත්‍රී වැඩ මුරය අවසන් කර කම්කරු ආරක්ෂක කමිටු වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් ව මියගිය අයගේ පවුල්වලට විශ්‍රාම වැටුප ලබා දීම සහ ණය සඳහා පොළී අය කිරීම අහෝසි කිරීම.
- ධනපතියන් විසින් හැර ගිය කර්මාන්ත ශාලා කම්කරු පාලනයක් යටතේ නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.
- මාර්තු මස 26 වැනි දින මැතිවරණයක් පවත්වා කොමියුනය කෙරෙහි ජනතා ප්‍රසාදය මෙන්ම විශ්වාසය තහවුරු කර ගැනීම. ( මෙම මැතිවරණය සඳහා ධනපති කණ්ඩායම් වලටද ඉදිරිපත් වීමට හැකිවිය.)
- මෙතෙක් සාමාන්‍යය ජනතාවට විවෘත නොවූ සියළු අධ්‍යාපන ආයතන ජනතාව වෙත නොමිලේ විවෘත කිරීම.
- අධිකරණ නිලධාරීන්ගේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා පියවර ගැනීම.
මෙලෙස නිර්මාණය කරගත් පැරිස් කොමියුනයේ පාලනය බිඳ දැමීමට ධනපතියන්ගේ මැදිහත් වීම බහුල දක්නට ලැබිනි. වර්සේල්ස්වලට පළා ගොස් ධනපතියන් සමඟ සංවිධානය වූ විසිරුවා හරින ලද ධනපති හමුදා විසින් 1871 මැයි මස 21 වැනි දින පැරිස් නගරයට පහර දී නගරය නැවත පවරා ගන්නා ලදි. එහි දී කාන්තාවන් සහ දරුවන් ඇතුළු ප්‍රංශ වැසියන් දස දහස් ගනනක් මරා දමනු ලැබී ය. ඊට අමතරව, ප්‍රතිවිප්ලවකාරී හමුදාව විසින් සිරකරුවන් ලෙස සැලකූ බොහෝ දෙනා ඝාතනය කරනු ලැබී ය. එම "ලේ වැකි සතිය" තුළ සහ සිරකරුවන් ලෙස ඝාතනය කළ ප්‍රංශ වැසියන් නගරය වටා නොගැඹුරු සොහොන් ගෙවල්වල තැන්පත් කරනු ලැබී ය . කොමියුනය සංහාරය කරමින් සමූලඝාතනය කළ එක් ස්ථානයක් වූයේ ප්‍රසිද්ධ ප්‍රේලාෂාස් සුසාන භූමිය යි. මේවන විට එම ස්ථානයේ සිහිවටනයක් ලෙස ස්මාරකයක් ද ඉදිකර ඇත. මැයි මස 28 වැනි දින ලේ වැකි සතිය නිමා වූයේ ලොව ප්‍රථම නිර්ධන පන්ති රාජ්‍ය වූ ප්‍රංශ කොමියුනය දින 72 කට සීමා කරමිනි.
නිර්ධන පන්ති රාජ්‍යයක ප්‍රායෝගික අත්දැකීම් නොමැතිව බිහි වූ ප්‍රංශ කොමියුනය බිඳවැටීමට හේතු පාදක වූ කරුණු කිහිපයක් හඳුනා ගත හැකි ය. ඒවා පහතින් දැක්වේ.
- කොමියුනයට පෙර පැවති පැරිස් බැංකුවල තිබූ මුදල් කොමියුනය වෙත පවරා නොගැනීම සහ එම මුදල් රැගෙන ධනපතියන්ට වර්සේල්ස් බලා පළා යාමට ඉඩ ලබා දීම.
- විසිරුවා හරින ලද හමුදාවන්ට පළා ගොස් වර්සේල්ස් ප්‍රතිවිප්ලවයේ මධ්‍යස්ථානය බවට පත්කර ගැනීමට ඉඩ ලබාදීම. මෙහි දී එම පිරිස් තියරේගේ හමුදාව සමඟ කටයුතු කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ද පැරිස් කොමියුනය අපොහොසත් වී ඇත.
- කොමියුනය තුළ විවිධ මතයන් දරන පාර්ශ්වයන් සිටීම නිසා මධ්‍යගත සංවිධානයක් නොතිබීම.
- ජනතාව සන්නද්ධ කර ශක්තිමත් නිර්ධන පන්ති හමුදාවක් බිහි කිරීම සඳහා මැදිහත් වීම කොමියුනයට මඟහැරී තිබීම.
- කම්කරුවන් විසින් ගොඩ නැගූ කොමියුනය පවත්වා ගෙන යාම සඳහා ගොවි ජනතාව සංවිධානය නොකිරීම.
පැරිස් කොමියුනයේ බිඳවැටීමෙන් අනතුරුව බිහි වූ නිර්ධන පන්ති රාජ්‍යයන් කොමියුනයෙහි අත්දැකීම් තම අරමුණ කරා ගමන් කිරීමට පාදක කරගත් බව දක්නට ලැබේ.
නිර්ධන පන්ති රාජ්‍යයක අත්දැකීම් නොමැති අවස්ථාවක වුව ද නිර්ධන පන්තියේ අභිවෘද්ධිය උදෙසා සටන් කළ, කැපකිරීම් කළ පැරිස් කොමියුනයට අපගේ විප්ලවීය ආචාරය..
Saturday, March 13, 2021
විකිණීමට ඇත.
" නිදහසින් පසු වසර 73ක කාලයක් වසර පහෙන් පහට පැවති කට්ටිමාරු දේශපාලනයට පැවති නිශ්චිත දැක්මක් නොතිබීම මෙන්ම ඔවුන් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිවල පැවති දුර්වලතා නිසා අද දවස වන විට ලංකාව ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී පවතී. මීට විසදුම වන්නේ ආකර්ෂණීය වචන වලින් කලින් කලට ගෙන එන ප්‍රතිපත්ති ප්‍රකාශන නොව ක්‍රමවේදය තුළ සිදුකරන වෙනසකි. එසේ නොවන්නට අපට සිදුවනුයේ අප රට සතු වටිනා සම්පත් සින්නක්කරව හෝ බදු පදනම මත බලවත් ජාතීන් අත්පත් කරගන්නා දෙස බලා සිටින්නට පමණි.
ස්පාඤ්ඤකාරයෝ කොලොම්බියාවට ආවේ රත්‍රන් හොයාගෙනය. ඉන්පසු ඇමරිකන්කාරයෝ කොලොම්බියාවට ආවේ කෙසෙල් කැන් සොයාගෙනය. ස්පාඤ්ඤකාරයෝ රත්‍රන් වෙනුවෙන් කොලොම්බියාවේ දහස් ගණන් ඝාතනය කළහ. 1928 දී ඇමරිකන්කාරයෝද කොලොම්බියාවට පැන කෙසෙල් වගාව පිණිස ඉඩම් කොල්ලකා තිස්දාහක් පමණ ඝාතනය කළහ.මේ සිදුවීම් වන කාලයට පෙර ලංකාවේද 1818 දී හා 1848 දී සුද්දන් විසින් අපේ ජනයාද දහස් ගණනක් ඝාතනය කරනු ලැබුවේ මේ රටේ සම්පත් කොල්ලකෑම වෙනුවෙනි. අධිරාජ්‍යවාදීන්ගේ පැහැය කුමක් වුවත් ක්‍රියාවේ වෙනසක් නැත. වර්තමානයේදී ද දෙස් විදෙස් නරුමයින් විසින් ලංකාව හපකර දමනවිට මෙරට උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන් සිවිල් ජනයා බහුතරයක් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටීම වේදනාවට කරුණකි. කොලොම්බියාවද අප වැනි රටකි. අධිරාජ්‍යයවාදීන්ගේ හපයක් බවට පත්ව ලතින් ඇමරිකානු කලාපයේ වඩාත්ම අනාරක්ෂිත රට බවටද පත්විය. ශ්‍රී ලංකාවටද එම තත්ත්වය උරුම වීමට මත්තෙන් මෙසේ සටහන් කරමු."
Saturday, February 27, 2021
නුඹලා පැටලුනේ වැරදි පරම්පරාව සමඟ ය...
මියන්මාරය පිළිබඳ නැවත කතිකාවක් ලොකය තුළ ඇති වූයේ පසුගිය පෙබරවාරි මස 01 වැනිදා එරට හමුදාව විසින් දියත් කළ හමුදා කුමන්ත්‍රණයත් සමඟ ය. මෙවැනි කුමන්ත්‍රණ එක් දිනකින් සිදු නොවන නිසා මියන්මාරයේ අතීතය පිළිබඳ මදක් කතා කිරීමට අදහස් කරමි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති මියන්මාරය හෙවත් එකල බුරුමය ඉන් නිදහස ලබා ගන්නේ වර්ෂ 1948 ජනවාරි මස 4 වැනිදා ය. නිදහස ලැබීමෙන් පසු වෙනත් යටත් විජිත මෙන් මියන්මාරය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් නොවී ය. මියන්මාරයට එයටම අනන්‍ය වූ වාමාංශික පැහැයක් ගන්නා දේශපාලන ගමනක් තිබූ අතර නිදහසින් පසු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එරට ජනතාව පිළිගෙන තිබිණි. යුරෝපා ජාතිකයකු නොවන ප්‍රථම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ 'යූ තාන්ට්' බිහිවූයේ ද මියන්මාරයෙනි. 1961 දී ඔහුගේ කාර්යය මණ්ඩලයට මියන්මාරයෙන් බඳවාගෙන තිබූ සේවක පිරිස අතර 'අවුන් සාන් සු කී' ද වූවා ය.
එලෙස පැවති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ප්‍රථම මරුපහර එල්ල කරමින් එකල මියන්මාර හමුදාවේ ජෙනරාල් 'නේ වින්' විසින් හමුදා කුමන්ත්‍රණයක් 1962 දී දියත් කරන ලදි. මෙම හමුදා පාලනය මියන්මාර ජනතාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ලදි. එහි ආරම්භය ලෙස 1962 වර්ෂයේම ජූලි 7 වෙනිදා සිට ඇරඹි විරෝධතා අවසන් වූයේ රැන්ගුන් සරසවියේ සිසුන් 15 දෙනෙකු මරු කැඳවමිනි. යළි යළිත් මෙම විරෝධතා 1974, 1975, 1976, 1977 වර්ෂ වල අඛණ්ඩව ක්‍රියාත්මක විය. නමුත් මේ සියල්ල ජනතාව වෙත පරාජය උරුම කරමින් නවතා දැමීමට හමුදා පාලනය සමත් විය. හමුදා පාලනය ගැන උදම් අනන උදවිය මෙය හොඳින් වටහා ගන්නේ නම් අප රටට ද යහපත් වේ.
අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් බිහි වූ දේශපාලන පක්ෂය "ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතික ලීගය" නම් විය. 1988දී ඇය එම පක්ෂය පිහිටුවන විට ඇයට සහය ලබා දුන් මියන්මාරයේ හමුදා පාලනය ගැන කලකිරීමෙන් සිටි හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක් ද විය. 1990 දී එරට පැවති මහ මැතිවරණයෙන් සුකීගේ දේශපාලන පක්ෂයට සියයට 81ක ජනතා බලයක් හිමිවූ නමුදු මැතිවරණ ප්‍රතිඵලය අවංලගු කර දිගටම පාලනය ගෙන යාමට මියන්මාර හමුදා ප්‍රධානීන් කටයුතු කළහ. ජනතා කැමැත්ත ඔවුන්ට වැදගත් වූයේ නැත. සුකී 1989 සිට 2010 දක්වා නිවාස අඩස්සියේ පසුවූවා ය. එලෙස වසර 21 තරම් වූ දීර්ඝ කාලයක් තම පවුලෙන් පවා ඈත්ව ඇය තම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල දරාගෙන සටනේම රැඳී සිටීම වෙනුවෙන් 1999 දී නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය.
අවසානයේ 2010 වසරේදී ඇගේ නොනැවතුණු අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇය නිදහස් කිරීමට මිලිටරි ජුන්ටාවට සිදුවිය. නිවාස අඩස්සියෙන් නිදහස් වූ සුකී යළි තම දේශපාලන ජීවිතය අරඹන අතර 2011 වර්ෂයේ දී මියන්මාරයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට හැකි විය. ඒ වසර 46කට පසුවය. ජනාධිපති ලෙස 'තියෙන් සෙයින්' පත්වීම් ලැබූ අතර සුකීගේ 'ප්‍රජාත්න්‍රවාදය සඳහා වන ජාතික ලීගයෙන්' මෙන්ම හමුදා පාලනයෙන්ද ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට ක්‍රියා කළහ.
2015 වර්ෂයේ දී පැවති මහ මැතිවරණයෙන් ද සුකීගේ පක්ෂයට අති විශාල බහුතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට හැකි විය. නමුත් 2008 දී හමුදා පාලනය විසින් සම්මත කරගෙන තිබූ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළ සුකීගේ පක්ෂයට හිමි වූ නියෝජනය සියයට 75 ක් පමණක් විය. පාර්ලිමේන්තු අසුන්වලින් සියයට 25 ක් සහ ප්‍රධාන අමාත්‍යාංශ තුනක බලය හමුදාව සතු විය.
මියන්මාරයේ ප්‍රධාන ආගම බෞද්ධාගම වන අතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ඇතුළු බොහෝ ජනවාර්ගික කණ්ඩායම් ජීවත් වේ. මියන්මාරය සුළුතරයක් වූ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස සලකන අතර ඔවුන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදි. වර්ෂ 2017 දී හමුදා මර්දනයකින් පසු රොහින්ග්‍යා වැසියන් දහස් ගණනක් මියගිය අතර 700,000 කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ. සූකී 2019 දී ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී හමුදාව ජන සංහාරයක් කළ බවට වූ චෝදනා ප්‍රතික්ෂේප කළා ය. මෙහිදී සුකීගේ පාලනය ජාත්‍යන්තර හමුවේ ද දෝෂාරෝපණයට ලක්විය. කෙසේ වුවත් මෙම අවස්ථාවේදී නම් සුකීගේ පාලනය හා හමුදා පාලනය නියමාකාරයෙන්ම සමපාත වී ඇති බව පැහැදිලි වේ.
මේ වන විට සුකී පාලනය සමඟ හමුදා පාලනය සමපාත නොවූ අතර 2020 නොවැම්බර් මස 3 වෙනි දින එරට හමුදා නායක 'ජෙනරාල් මින්ග් අවුන්ග ලායින්ග්' පවසා සිටියේ "සිවිල් පාලනය මගින් සමාව දිය නොහැකි වැරදීම් සිදුවෙමින් පවතින බවයි". එලෙස නැවත හමුදා කුමන්ත්‍රණයකට අදාල මාවත පිළිසකර කර ගැනීමට එරට හමුදාව කටයුතු කර ඇත.
තත්ත්වය එසේ තිබිය දී නොවැම්බර් මස 8 වැනිදා මියන්මාරය තුළ යළිත් මහ මැතිවරණයක් පැවැත්වූ අතර එහිදී ද අති විශාල ජනතා බලයක් සුකීට හිමි විය. එහෙත් එහිදී මැතිවරණ වංචා සිදුවූ බවට හමුදා මැදිහත් වීමෙන් ගොඩ නැගූ විපක්ෂයෙන් චෝදනා එල්ල වන්නට විය. ඔවුන් නොවැම්බර් 11 වැනිදා සුකීගේ ආණ්ඩුවට චෝදනා එල්ල කර සිටියේ ඇය මැතිවරණ වංචා සිදු කළ බවයි. කෙසේ වුවද මේ චෝදනාවලට පිළිතුරු දීමට සුකී කලබල නොවූ අතර ඇය තම හිතවත් පුද්ගලයන් අතරින් ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයට පත් කිරීම්වල නිරත විය. එහෙත් පාලනය යළි තමා අතට ගැනීමේ හමුදා උත්සාහය වැළැක්වීමට ඇයට හැකියාව ලැබුණේ නැත. හමුදාව මෙවර තම මාවත ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මාවතම තෝරාගෙන තිබූ අතර 2021 ජනවාරි 26වැනි දින හමුදා ප්‍රකාශක 'බ්‍රිගේඩියර් ජෙනරල් සවු මින් ටුන්' පවසා සිටියේ ආණ්ඩුව සිදු කළ මැතිවරණ වංචා නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් "ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති බවයි". විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර සිටියේ ඒ වන විටත් රැන්ගුන් නුවර මහා මාර්ගවල හමුදා රථ ගමන් කරමින් තිබූ බවයි.
මේ සම්බන්ධව මියන්මාර මැතිවරණ කොමිසමේ අදහස් ජනවාරි 28 වැනිදා එළි දැක්වුණු අතර එහිදී කොමිසම පවසා සිටියේ මැතිවරණ වංචා මඟින් ආණ්ඩුව බලයට පැමිණි බව පිළිගත නොහැකි බවයි.
මේ වන විට ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් සිටි මියන්මාර හමුදාව ජනතාවට සාධාරණය ඉටු කිරීමටත්, මැතිවරණ ප්‍රතිඵලය මඟින් උල්ලංඝනය වූ මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි ස්ථාපිත කිරීමටත් කටයුතු කරන බවට නිවේදනයක් ජනවාරි 30 වැනිදා නිකුත් කළ අතර ඒ වන විටත් මියන්මාරයේ ප්‍රධාන නගරවල හමුදාවට සහය දෙන පිරිස් යොදවා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීමටත් හමුදාව කටයුතු යොදා තිබිණි. පෙබරවාරි 01 වෙනි දින එනම් සුකීගේ නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට අදාල කටයුතු සංවිධානය කර තිබූ දින රාජ්‍ය බලය හමුදාව විසින් අත්පත් කර ගන්නේ එහි ආසන්නතම ප්‍රතිඵලය ලෙසිනි.
පෙබරවාරි 01 වෙනිදා උදෑසන වන විට සුකීට සහ ඇයගේ පක්ෂයේ ප්‍රධානීන්ට නිවෙස්වලින් පිටතට පැමිණීම හමුදාව විසින් තහනම් කර තිබූ අතර දුරකථන සමඟ අන්තර්ජාල සේවය ද අවහිර කර තිබිණි. සුකී සමඟ සුකීගේ රජයේ ජනාධිපති ධූරය හෙබ වූ 'වින්ග් මින්ට්' ද නිවාස අඩස්සියට පත් වූ අතර, හමුදා ප්‍රධානී 'ජෙනරාල් මින්ග් අවුන්ග් ලායින්ග්' රටේ පාලනය තමා අතට ගන්නා බව ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මෙය මැතිවරණ වංචා සිදුකිරිමට අදාළ ප්‍රතික්‍රියාව බවයි. කෙසේ වුවද හමුදාව පවසන තරමට ජනතාවාදී ද යන්න තීරණය කළ යුත්තේ එරට ජනතාව විසිනි.
මේවන විට ජනතාව තම තීරණය ප්‍රකාශ කරමින් බලහත්කාරී හමුදා පාලනයට එරෙහිව ලක්ෂ ගනනින් ජනයා විරෝධතා සඳහා එක්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. විරෝධතා සඳහා සහභාගී නොවන ලෙසට හමුදා පාලකයින් විසින් ජනතාවට එල්ල කර තිබෙන ජීවිත අහිමි කිරීමේ බලපෑම් පවා නොතකා වෙළෙඳසැල් පවා වසා දමා විශාල ජනතාවක් මේ වනවිට විරෝධතා සඳහා එක්ව තිබේ.
සියලු මර්දනයන් හමුවේ වුවද පසුගිය පෙබරවාරි 01 වැනි දින සිට අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් නිදහස් කර ගැනීම සඳහා වන විරෝධතාවයන් මේ වනවිට ප්‍රබල වෙමින් පවතින අතර ජනතාගේ දැඩි විරෝධයක් හමුදා පාලනයට එරෙහිව එල්ල වෙමින් පවතී.විරෝධතා අතරතුරදී සිදුවූ වෙඩිතැබීම් හේතුවෙන් මේ වනවිට ජීවිත දෙකක් අහිමි වී ඇති අතර හමුදා පාලනයට එරෙහිව ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ වන විට නිවාස අඩස්සියට යොමුකර සිටින සුකීට එල්ල කර ඇති චෝදනා වන්නේ නීති විරෝධී සන්නිවේදන උපකරණ භාවිතා කිරීම සහ ස්වාභාවික ආපදා නීතිය කඩ කිරීමය.
මේ වන විටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුයිටරේස් මේ හමුදා කුමන්ත්‍රණය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ "ජනතා මතයට හිස නමන මෙන් තමා හමුදා ප්‍රධානීන් ගෙන් ඉල්ලා සිටින බවයි."
රටවල් රැසක රාජ්‍ය නායකයන්ද මියන්මාර හමුදා කුමන්ත්‍රණය හෙළා දැකීමට කටයුතු කර ඇති අතර අබිනවයෙන් පත්වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුදා පාලනයට තර්ජනය කරමින් පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය හැකි තරම් ඉක්මනින් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළ හොත් ඇමරිකාව මියන්මාරයට සම්බාධක පැනවීමට කටයුතු කරන බවද බයිඩ්න් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
අවසාන වශයෙන් මෙම විරෝධතාවයන් අතරතුර එරට විවිධ නගර වල බිත්ති හා තාප්ප මත දක්නට ලැබූ පාඨයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.
"ඔබලා පැටලුනේ වැරදි පරම්පරාව සමඟය. "