Saturday, March 13, 2021
විකිණීමට ඇත.
" නිදහසින් පසු වසර 73ක කාලයක් වසර පහෙන් පහට පැවති කට්ටිමාරු දේශපාලනයට පැවති නිශ්චිත දැක්මක් නොතිබීම මෙන්ම ඔවුන් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිවල පැවති දුර්වලතා නිසා අද දවස වන විට ලංකාව ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී පවතී. මීට විසදුම වන්නේ ආකර්ෂණීය වචන වලින් කලින් කලට ගෙන එන ප්‍රතිපත්ති ප්‍රකාශන නොව ක්‍රමවේදය තුළ සිදුකරන වෙනසකි. එසේ නොවන්නට අපට සිදුවනුයේ අප රට සතු වටිනා සම්පත් සින්නක්කරව හෝ බදු පදනම මත බලවත් ජාතීන් අත්පත් කරගන්නා දෙස බලා සිටින්නට පමණි.
ස්පාඤ්ඤකාරයෝ කොලොම්බියාවට ආවේ රත්‍රන් හොයාගෙනය. ඉන්පසු ඇමරිකන්කාරයෝ කොලොම්බියාවට ආවේ කෙසෙල් කැන් සොයාගෙනය. ස්පාඤ්ඤකාරයෝ රත්‍රන් වෙනුවෙන් කොලොම්බියාවේ දහස් ගණන් ඝාතනය කළහ. 1928 දී ඇමරිකන්කාරයෝද කොලොම්බියාවට පැන කෙසෙල් වගාව පිණිස ඉඩම් කොල්ලකා තිස්දාහක් පමණ ඝාතනය කළහ.මේ සිදුවීම් වන කාලයට පෙර ලංකාවේද 1818 දී හා 1848 දී සුද්දන් විසින් අපේ ජනයාද දහස් ගණනක් ඝාතනය කරනු ලැබුවේ මේ රටේ සම්පත් කොල්ලකෑම වෙනුවෙනි. අධිරාජ්‍යවාදීන්ගේ පැහැය කුමක් වුවත් ක්‍රියාවේ වෙනසක් නැත. වර්තමානයේදී ද දෙස් විදෙස් නරුමයින් විසින් ලංකාව හපකර දමනවිට මෙරට උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන් සිවිල් ජනයා බහුතරයක් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටීම වේදනාවට කරුණකි. කොලොම්බියාවද අප වැනි රටකි. අධිරාජ්‍යයවාදීන්ගේ හපයක් බවට පත්ව ලතින් ඇමරිකානු කලාපයේ වඩාත්ම අනාරක්ෂිත රට බවටද පත්විය. ශ්‍රී ලංකාවටද එම තත්ත්වය උරුම වීමට මත්තෙන් මෙසේ සටහන් කරමු."
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය අතිශය වැදගත් මරමස්ථානයක් වී ඇත්තේ මූලිකවශයෙන්ම එහි ඇති භූ දේශපාලනික වැදගත්කම නිසාවෙනි. ත්‍රිකුණාමලයේ අයිතිය ඇත්තා ඉන්දියන් සාගරය හසුරුවන බවට මතයක් අතීතයේ සිටම සමාජගත වීම තුළින්ම මෙහි වැදගත්කම මනාව පිළිඹිබු වේ. දෙවන ලෝක යුදධයේදී මිත්‍ර හමුදවන් විසින් දකුණු හා අග්නිදිග ආසියාවේ මෙහෙයුම් කටයුතු සඳහා මනා සැලස්මකට අනුව නිර්මාණය කර ඇති තෙල් ටැංකි 102 ක් ත්‍රිකුණාමලයේ පවතී. මෙහි එක් ටැංකියක ඉන්ධන ධාරිතාව ටොන් 12000 ක් පමණය. මේ වන විට ටැංකි 16 ක මෙහෙයුම් කටයුතු ඉන්දියාවට හවුල් ගිවිසුමක් යටතේ පවරාදී ඇත.
ඉතිරි ටැංකි සියල්ල භාවිතයෙන් අතහැර දමා ඇති අතර ඒවා යථා තත්ත්වයට පත්කොට භාවිතා කරන්නේ නම් ශ්‍රී ලංකාවට මාසයක් සඳහා අවශ්‍ය ඉන්ධන ගබඩා කර තබා ගැනීමට ප්‍රමාණවත් විශාල ධාරිතාවක් එම ටැංකි සතු බව විශේෂඥයින්ගේ අදහසයි. ඉන්දියාව සමඟ හවුල් ගිවිසුම යටතේ භාවිතයේ පවතින තෙල් ටැංකි 16 නැවත ශ්‍රී ලංකා රජයට පවරා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතිබව පසු ගිය දිනකදී මාධ්‍ය වාර්තා කර තිබුනි. මෙයට හේතුව වන්නේ ඉන්දියානු රජයේ අත පෙවීම නොවේද?
1987 දී සිදුවූ ඉන්දියානු කඩාවැදීම අඩුපාඩු මධ්‍යයේ වුවද අරගලයන් තුළින් පරාජයට පත් කිරීමට සමාජ බලවේගයන්ට හැකි විණි. නමුත් දිගටම පැවති මෙම ආක්‍රමණයන් මේ වන විට කොළඹ වරායට කෙල හලන තත්ත්වයකට පත්ව ඇත. මෙහි කූඨප්‍රාප්තිය පසුගිය දිනෙක කැබිනට් පත්‍රයක් මගින් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දීය ආදානි සමාගමට පැවරීමට රජය ඉදිරිපත් වීම හරහා එළිදැක්විණි. නමුත් කම්කරු ව්‍යාපාරය අනෙකුත් සටන් කරන ව්‍යාපාර හා එක්ව ගොඩනගන ලද පුළුල් පෙරමුණක් ඔස්සේ කරන ලද අනවරත අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම යෝජනාව හකුලා ගැනීමට පාලකයන්ට සිදුවිණි.
නමුත් තවමත් ඉදිවී හෝ නොමැති කොළඹ වරායේ හදවත බඳු විශාලතම ජැටිය වන බටහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට රජය දැනටමත් පිඹුරුපත් සකසමින් පවතී. මෙය තුළ සැබෑවටම පවතින්නේ ඉන්දියාව දේශපාලනිකව සහ ආර්ථිකමය ලෙස අප රට වෙත සිදු කරනු ලබන බලපෑම නොවේද?
චීන ආක්‍රමණයද මේ වන විට ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු බලයක් පිහිටුවා ගනිමින් පවතින්නේ තම අණසකට හම්බන්තොට වරාය, පෝටි සිටි, ෂැන්ගීලා හෝටලය ආදිය ද ඊට අමතරව වෙළෙඳ අගනගරය වන කොළඹ නගරය ඇතුළු සමස්ත ලංකාව තුළ සැලකිය යුතු තරමේ භූමි ප්‍රමාණයක් අත්පත් කර ගනිමිනි. MCC වැනි ගිවිසුම් හරහා ඇමරිකාවද ලංකාවේ සම්පත් ඩැහැ ගැනීමට උකුසු ඇස් යොමු කරමින් සිටී. පාලකයන් දැන් සිදුකරමින් පවතින්නේ මෙහි පවතින සම්පත් ප්‍රධාන වශයෙන් චීනය, ඉන්දියාව, ඇමරිකාව යන බලවත් රාජ්‍යයන් සතුටු කරනු වස් කොටස් වශයෙන් බදු පදනම මත හෝ සින්නක්කරව පවරා දීම ය.
ශ්‍රී ලංකාව මෙසේ අධිරාජ්‍යවාදීන් ඉදිරිපිට දණින් වැටෙන ජාතියක් බවට පත් කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද? පපුවට ගසා ගැනීම දේශප්‍රේමය යැයි සිතන පාලකයින් බලයට පැමිණීමට පෙර කිසිදු දේශීය සම්පතක් නොවිකුණන බවට පම්පෝරි ගැසුවද බලයට පැමිණි පසු මේ වන විට සිදුකරමින් පවතින්නේ එයම නොවේද? නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව නම් වූ ස්වාධීන රාජ්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථිකමය හා දේශපාලනමය උගුලට හසුවී චීන ඉන්දීය ඇමරිකන් කොලනියක් බවට පත් නොවේ යැයි තැබිය හැකි විශ්වාසය කුමක්ද?
විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට හා රටේ ස්වාභාවික සම්පත් රාජ්‍ය දේපළ විකිණීම සඳහා ආණ්ඩු වලට ලැබී ඇති ජනවරම කුමක් දැයි ප්‍රශ්න කළ යුතුය. ජනතා ඡන්දයෙන් තේරීපත්වන ජනතා නියෝජිතයන් නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනවලදී සම්පත් විකිණීමට ඔල්වරසන් නගා සහය පළ කිරීම පිළිකුල දනවන කරුණකි. විකුණා හෝ බදු දී ලැබෙන ආදායමෙන් ද මොවුන් සිදු කරනුයේ කුමක්ද? එය නැවත පොලී ගෙවීමට භාවිතා කිරීම හා තම ගජමිතුරු කිහිප දෙනෙක් අතර බෙදා ගැනීමය. පවතින මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම පසෙකලා මෙම ආණ්ඩු සිදුකරමින් පවතින්නේ මැතිවරණයක් ආසන්න වන විට මිල විජ්ජාවක් සිදුකර බඩු මිල තෙල් මිල අඩු කර මිනිසුන් රවටා රටේ මේ වන විට ඉතිරිව පවතින අනෙකුත් දේශීය සම්පත් විනාශ කර දැමීම නොවේද? මෙම විනාශකාරී ප්‍රතිපත්තීන් හමුවේ පුල්මුඩේ ඛනිජ වැලි නිධියද, එප්පාවල ඇපටයිට් නිධියද, බෝගල මිනිරන් නිධියද ඇතුළුව අප රටේ ඉතිරිව පවතින සම්පත් වලට ද කන කොකා හඬන දිනය ද වැඩි ඈතක නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.
තමන් බලයට පැමිණි පසු කලින් බලයේ සිටි ආණ්ඩු විසින් විකුණා දැමූ සම්පත් ද නැවත පවරා ගන්නා බවට පාරම්බාමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව, විච්චූරන වචන යොදාගනිමින් නැවත නැවත සිදු කරනුයේ ද වටිනා සම්පත් අධිරාජ්‍යවාදීන් සතු කිරීම ය. ආර්ථිකමය හා දේශපාලනිකමය ලෙස වටිනා ස්ථානයක ස්ථානගත වී ඇති ශ්‍රී ලංකාව වර්තමානයේ දී ලෝක බල දේශපාලනය තුළ කලාපීය බලය තමන් සතු කරගැනීම සඳහා පොරබදන හිවලුන්ගේ ගොදුරක් බවට පත්ව ඇත. මෙම ආර්ථික ක්‍රමය තවදුරටත් මෙය අර්බුදයක ගෙන යනවා හැර නැවත නගා සිටුවීමට අසමත් බව ඕනෑවටත් වඩා ඔප්පු කර අවසන් ය. එම නිසා කලින් කලට සිදුකරන ඔළුගෙඩි මාරු වෙනුවට සැබෑවටම සිදු කරන ක්‍රම වෙනසක් හරහා පමණි නැවත මෙය ගොඩ නැගිය හැක්කේ.
No comments :
Post a Comment