Saturday, November 7, 2020

සිසු අරගල ඉතිහාසයෙන් හෙට අරගලයට දැක්මක්

No comments :

 


දශක ගණනාවක් පුරා තම අයිතීන් වෙනුවෙන්, පරාර්ථකාමී හැඟීම් කැටිව හා යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් ලෙස හුදෙක් නිදහස් අධ්‍යාපනය සුරැකීම පමණක්ම තම ඒකායන අරමුණ බවට පත් කර නොගනිමින් පොදුවේ සමාජයේ අයිතීන් දිනා දීම උදෙසා කැප වූ ව්‍යාපාරයක් ලෙස  ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය යථාර්ථවාදීව හඳුනා ගත හැකිය. ඒ උත්තුංග අරමුණ වෙනුවෙන් තම කාලය, ශ‍්‍රමය, දහදිය, රුධිරය, කඳුළු පමණක් නොව තම ජීවිත ද කැප කළ ව්‍යාපාරයක් ලෙස මෙය වර්තමානයේ ද මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙර සේම එක සේ අරගල මතින් පන්නරය දෙමින් සටන් වදිමින් සිටී. මේ අතුරිනුත් නිදහස් අධ්‍යාපනය මෙතූවක් දුරට හෝ ආරක්ෂා වී ඇත්තේ සමාජය ප‍්‍රගතශීලී කොටස් සමග එක්ව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව කරන ලද සටන් වල ප‍්‍රතිඵලයක් ලෙස ය.

1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල සංශෝධන පනත භාවිතා කරමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලීය නමින් පෞද්ගලික ආයතනයක් කොළඹ නාලන්දා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ආරම්භ කෙරිණි. හරිහැටි ගොඩනැඟිලි පසුකම් පවා නොමැති පසුබිමක රජයේ පාසල් ගොනැගිල්ලක මෙය ආරම්භ කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම කඩිනමින්ම  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර අධ්‍යාපනය විකිණීමට තිබු   ප්‍රතිපත්තිය මනාව පැහැදිලි වේ.   ආරම්භයේ සිටම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට විරුද්ධ වූ අතර එවකට පැවැති  J.R. රජය විසින් ඔවුනට තිබූ අසීමිත විධායක බලතල හා පැවැති ආණ්ඩු බලය උපයෝගී කරගෙන, රාජ්‍ය ත‍්‍රස්තවාදය භාවිත කොට රට තුළ ජාතිවාදී අරගලයන් ඇති කළ අතර එය දඩමීමා කර ගනිමින් යුක්තිය උදෙසා හඬ නගන සටන් ව්‍යාපාර මර්ධනය කරන ලදී.

ඒ යටතේ වර්ෂ 1983 දී ශිෂ්‍ය නායකයින් විශාල ප‍්‍රමාණයක් සිරගත කරමින්, ශිෂ්‍ය ව්‍යාපාරය හා ශිෂ්‍ය සටන් යටපත් කරන්නට පිඹුරුපත් සකස් කරන ලදී. නමුත් එවකට සිටි ශිෂ්‍ය නායකයින් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම සටන් කාමිත්වය පිළිබිඹු කරමින් “ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටු” නමින් නව  ව්‍යුහයක් ගොඩනඟා ගනිමින් අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ඇතුළු අධ්‍යාපන පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තීන්ට මෙන්ම විශේෂයෙන්ම  උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කිරීමට පෙළ ගැසිණි.

ඉහත කී මර්දනයන් සමඟ ම වර්ෂ 1983 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවැත්වුණු විභාගයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ද සහභාගි කරවිණි. එයට කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ අතර ඔවුන් මීට එරෙහිව අධිකරණමය වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළ ද එය ද ව්‍යාර්ථ විණි.

වර්ෂ 1987 පමණ වන විට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන තීව්‍ර වන ලකුණු පහළ වෙමින් තිබිණි. මීට ප‍්‍රධානතම හේතුව වූයේ 1987 වර්ෂයේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සමඟ අවසන් වසර විභාගය සඳහා එකට මුහුණ දීමට සූදානම් කර තිබීමයි. එහි ප‍්‍රධාන අරමුණ වූයේ ඔවුන් සියලූ දෙනාටම එකවර සීමාවාසික වෛද්‍ය  පුහුණුව ලබාදීම වන අතර, ඒ වන විටත් රජයේ වෛද්‍ය පීඨයන්හි 510 ක් වූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන්  140  ක් පමණ දෙනාගේ සීමාවාසික පත්වීම් අහිමි කර තිබිණි. මෙයට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් දැඩි සේ විරුද්ධ විය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය යටතේ වෛද්‍ය  ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කිරීමේ අරගලය දිගින් දිගට ම ජයග‍්‍රාහී මාවත තෙක් ගෙන එන ලදී. කලූ පටි පැළඳ සිදු කළ විරෝධතාවයෙන් ඇරඹි මෙම ශිෂ්‍ය විරෝධතා තවත් වෘත්තීය සමිති එක් කරගත් පුළුල් වැඩ වර්ජන දක්වා දිගු විය. ඊට අමතරව  “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨයත් සමග රට පුරා පවත්වන ලද සම්මන්ත‍්‍රණ මාලාවන් මගින් පොදු ජනයා දැනුවත් කරමින් බහුජන අරගලය  ජයග‍්‍රාහී මාවතකට ඔසවා තැබූහ. එමෙන්ම වර්ෂ 1987 සැප්තැම්බර් මස සිට    “වෙද සිසු හඬ” පුවත් පත ද රට පුරා බෙදා හැරීමට කටයුතු කළ අතර වර්ෂ 1987 ජූලි මස සිට කොළඹ වෛද්‍ය පීඨ සිසුන් අඛණ්ඩ පන්ති වර්ජන ක‍්‍රියා මාර්ගයකට ද අවතීර්ණ විය.

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලය මෙන්ම අනෙකුත් අරගලයන් ද වඩාත් තීව‍්‍ර වීමත් සමඟ පාලකයින් විසින් විශ්ව විද්‍යාල පද්ධතිය වසා දැමීමට තිරණයක් ගනු ලැබූ අතර ඉන් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මැදිහත් වී ”ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය” ගොඩ නගන ලදී. මෙමඟින් දිස්ත‍්‍රික් මට්ටමේ ශිෂ්‍ය කමිටු ගොඩනගා ගනිමින් විශාල වැඩ කොටසක් සිදු කළ අතර එයින් අරගලයට නව ජීවයක් ලැබුණි.

මර්දනය තව තවත් උත්සන්න කරමින් අන්තරේ  කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය සහෝදරයා ද ඒ සමයේ ඔවුන්ගේ ගොදුරක් කරගත්හ. රත්නපුර දිස්ත‍්‍රික් වෛද්‍ය පීඨ කමිටුවේ ප‍්‍රධානියා වූ ත‍්‍රිමා විතාන සහෝදරයා ඇතුළු තවත් සහෝදරුන් දෙදෙනෙක් පැහැර ගැනීමට ලක් කර අමානුෂික වධ හිංසා පමුණුවා ඝාතනය කරන ලද අතර ආණ්ඩුව උත්සාහ කරන ලද්දේ මළසිරුරු රහසේම නිවෙස් වලට යවා අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට ය. එහෙත් සිසුන්ගේ දැඩි විරෝධතාවය මත තම සටන් සගයාගේ මළසිරුරු ලබා ගැනීමට සමත් වූ ශිෂ්‍යයෝ, වර්ෂ 1988 නොවැම්බර් මස 03 වන දින දහස් සංඛ්‍යාත පිරිසකගේ ආචාර මධ්‍යයේ අවමංගල්‍ය කටයුතු සිදු කළහ.

ඒ සමග ඇති වූ දැඩි ආණ්ඩු විරෝධය මෙන්ම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද බොහෝ කැප කිරීම් හා පරිත්‍යාගයන් මතින් ගොඩනැගුණු අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස ඓතිහාසික ජයග‍්‍රහණයක් සනිටුහන් කරමින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමට පාලකයින්ට සිදුවිය. නූතනයේ  ද කැලණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ කොට රාගම පවතිනුයේ එලෙස ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රමුඛ බලවේගයන්ගේ කැපකිරීම් හා අරගල මතින් ජයගත් වෛද්‍ය පීඨය යි. තම සහෝදර සටන් සගයන් එකාපිට එකා ඝාතනය කරන මෝහතකදී අභීතව මෙකී අරගලයට නායකත්වය දුන් නිමල් බාලසූරිය, ත‍්‍රිමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සිතිර කීර්ති ජයවර්ධන, සරත් ෙකාල්ලූරේ ඇතුළු බොහෝ සහෝදරවරු පිරිසකට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලය තුළදී මෙන්ම ඉන්පසු අරගලවලදී   තම ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවිය.  අද දවසේද භුක්ති විදිමට මේ තරමින් හෝ නිදහස් අධ්‍යාපනය ආරක්ෂාව පවතිනුයේ ඔවුන් තම අභිමතාර්ථයන් වෙනුවට සමස්ථ සමාජයක අයිතීන් උදෙසා සිදුකළ උදාරතර කැපකිරීම්ය.

 

ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරනු ලැබූ අරගල මතින් පරාජයට පත් කළ පෞද්ගලීකරණ  ප්‍රතිපත්ති නූතනයේ දී ද විවිධ වෙස් ගෙන නැවත නැවතත් SAITM, ආසිරි - ඇබර්ඞීන් ආදී නම් වලින් පෙනී සිටිති. එම නිසා ජීවිත පරිත්‍යාගයෙන් මෙන්ම රුධිරයෙන් තෙත් ව පෝෂණය ලද නිදහස් අධ්‍යාපනය නැමැති රුක්ෂයේ ඵල මතු පරපුර වෙනුවෙන් දායාද කරනු වස් ඔබටත් මටත් හෙට දින  එක්ව කිරීමට සටනක් ඇත. එය පිණිස එක්ව පෙළ ගැසෙමු.

No comments :

Post a Comment