Monday, December 14, 2020
අයවැයත් ෆේල්ද..?
2019 වර්ෂයේ දී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස් ආණ්ඩු බලය ලබා ගත්තේ පෙර පැවති යහපාලන ආණ්ඩුවේ පැවැති බදු ප්රතිපත්තිවලින් සහ ණය බරින් රට මුදවා ගන්නා බව ජනතාවට ප්‍රකාශ කරමිනි. “හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්”, වැනි තේමා යොදාගනිමින් බදු බරින් මිරිකී සිටි, කුසට අහරක් ගත නොහැකි වේදනා විඳිමින් සිටි අහිංසක ජනතාව නැවත වරක් මුළාවට පත් කරමින් නොයෙකුත් ආකාරයේ සහන ලබාදෙනවා යැයි ප්‍රකාශ කරමින් අද වන විට අපි හම්බ කර ගත්තොත් අපි කනවා ලෙස වෙනස් කර ඇති බව අප සියළුදෙනා හොදින් දන්නා කාරණයකි. සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන බවත්, නිදහස් අධ්‍යාපනය පුළුල් කරන බවටත් ප්‍රකාශ කරමින් නිදසුනක් ලෙස මහපොළ ශිෂ්‍යාධාර රු.7000 කරනවා යැයි කියමින් පැමිණි ආණ්ඩුව සුපුරුදු පරිදි තම නව ලිබරල් ප්‍රතිපත්ති පෙන්වමින් සිටි.
2021 වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් වනුයේ 2020 නොවැම්බර් 17 වන දිනය. එහිදී අගමැතිතුමා ප්‍රකාශ කරන අයවැය විසර්ජන පනතේදී දළ දේශීය ආර්ථික වේගය 2021 වර්ෂය තුළදී 6% කට වඩා වැඩි කරන බවත් දළ දේශීය ආර්ථිකයේ ණය ගෙවන ප්‍රමාණය 70% ට අඩු කරන බවත් ප්‍රකාශ කරන ලදී. 2020 වර්ෂයේ පළමු කාර්තුව තුළ 1.6% ක ආර්ථික කඩා වැටීමක් තිබෙන සමයකත් මෙවැනි විසුළු කරමින් අගමැතිතුමා ප්රමුඛ පිරිස විශ්වාස කරනුයේ ජනතාව මෝඩයින් බවයි. 2021 විසර්ජන පනතේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1960 ක් වන විට වියදම රුපියල් 3520කි. අයවැය හිඟය පමණක් රුපියල් බිලියන 1564 කි. රජය පවසන පරිදි එම හිඟය ගෙවීමට මෙතෙක් වාර්ෂිකව ගත් වැඩිම ණය මුදල වන රුපියල් බිලියන 2900 ගැනීමට බලාපොරොත්තු වෙයි. මේ වන විට රාජ්‍ය ණය බර නිසා රටේ සම්පත් විශාල ප්‍රමාණයක් චීනයට, ඉන්දියාවට විකුණා ඇති සමයක තව තවත් ණය ගනුයේ චීනය, ඉන්දියාව, ඇමරිකාව වැනි රාජ්‍යයන් ගේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට යටත් වෙමින් ශ්‍රී ලංකාව සින්නක්කරව දීමට නොවේද?
රාජ්‍ය ආදායම සපුරා ගන්නේ කෙසේද යන්න සිතූ විට ඔවුන්ගේ සැලසුම් වනුයේ රුපියල් බිලියන 1424 ක් බදු වලින් ද රුපියල් බිලියන 227 බදු නොවන ලෙසත් උපයා ගැනීමටය. රුපියල් බිලියන 1724 ක් බදු මුදලින් රුපියල් බිලියන 371 ක් පමණක් ඍජු බදුවේ. ඉතිරි රුපියල් බිලියන 1359 වක්‍ර බදු එනම් භාණ්ඩ හා සේවා මත බදු වේ. සෘජු බදු ලබාගනුයේ සමාගම් වලිනි. භාණ්ඩ හා සේවා බදු සම්පූර්ණයෙන්ම පාහේ දරා ගත යුත්තේ සාමාන්‍ය ජනතාවයි. කාසි ගෝනි ගණන් ගොඩ ගසමින් ප්රාග්ධනය ප්‍රසාරණය කරගන්නා ශ්‍රමය සූරගෙන කන සමාගම් වලට ඉතා ස්වල්ප බද්දක්ද එදිනෙදා හම්බකරන් ජීවත්වන ජනතාවට බදු වලින් 78% දරා ගැනීමට සිදුවීම ද ඔවුන්ගේ සෞභාග්‍යය දැක්ම බව ප්‍රකාශ කරයි. 2019 අයවැය හා සංසන්දනය කරන විට 2021 දී භාණ්ඩ හා සේවා බද්ද රුපියල් බිලියන 1034 සිට රුපියල් බිලියන 1359 කින් වැඩි වන්නේ බදු ප්‍රතිශතය 30.85% දක්වා වැඩි කරමිනි. සමාගම් වලින් ලබා ගන්නා බද්ද වැඩිවී ඇත්තේ රුපියල් බිලියන 324 සිට රුපියල් බිලියන 371ක ප්රමාණයකිනි. වසංගත කොරෝනා තත්ත්වය හමුවේ අන්ත අසරණ වූ ජනතාව මත විශාල බදු ප්‍රමාණයකුත් කොරෝනා වසංගතය හමුවේ තව තවත් තමන්ගේ ලාභ කඳු ගොඩගසාගත් සමාගම් වල ධනපතියන්ට හිමි වනුයේ ඉතාමත් සුළු බදු ප්රමාණයකි.
එමෙන්ම මෙම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත් වන්නේ මහ බැංකු මංකොල්ලකරුවන්ට දඬුවම් ලබා දෙනවා යැයි සිඟිති විහිළු කරමිනි. මහ බැංකුව ප්‍රකාශ කරන අයුරින් රු. කෝටි 41475 ක් වංචා කළ ද අයවැය ප්‍රකාශයේ දී අගමැති ඔවුන්ට දඬුවම් නොදෙන බවත් ඔවුන්ගේ මුදල් භාවිතා කරමින් සමාගම් නිර්මාණය කර හෝ සම්බන්ධ වී ඔවුන්ගේ ලාභ කඳු තරකර ගන්නා ලෙස ආරාධනා කරන්නේ රටේ ජනතාව ගේ හිසට ටොක්කක් අනිමිනි.
තවද අයවැයේදී මෙපමණ භාණ්ඩ හා සේවා මත බද්ද ක්‍රියාත්මක කරද්දී ගැසට් මගින් භාණ්ඩ 2674 කට සෙසු බදු ක්‍රියාත්මක කරන්නේ අයවැය ද විහිලූවක් කරමිනි. අයවැය තුළ ම කාන්තා සනිපාරක්ෂක තුවා වැනි ද්‍රව්‍ය වලට 16% බද්දක් පටවමින් අත්‍යවශ්‍ය වූ භාණ්ඩ වලින් ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් සමාගම් බදු වලින් නිදහස් කරයි. කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම් 50% ක් බදු වලින් නිදහස් කරද්දී කෘෂි , ධීවර , සත්ත්ව ගොඩනැගිලි ඉදිකිරීම් සමාගම් මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනද වසර 5 ක පුර්ණ බදුවලින් නිදහස් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව ධනපතියන්ට යට වූ බව ට සාක්ෂි දරමිනි.
සහල්,පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල ද මිල දිනෙන් දින ඉහළ යද්දී සහල් මිල පාලන ගැසට් ඉදිරිපත් කරමින් ඒවා විටින් විට වෙනස් කරමින් ගැසට් පත්‍රයක් ද හෑල්ලූවට ලක් කරමින් සිටී ගොඩනැගිලි ද්‍රව්‍ය මත ඉහල බද්දක් ක්‍රියාත්මක වනුයේ පීඩිත ජනතාවගේ නිවාස සිහිනය ද බොඳ කරමිනි. එවන් අවධියක ගොඩනැගිලි ඉදිකිරීම් කර ඒවා විකුණා සමාගම් වසර 5කට බදු සහන දෙන්නේ මොන පදනම් මත දැයි අප හට හොඳින් පැහැදිලි වෙයි.
මෙලෙස පීඩිත ජනතාවගෙන් ලබාගන්නා බදුවලට සිදු කරනුයේ කුමක් ද? මෙවැනි බදුවලින් පීඩාවට පත්ව සිටින ජනතාව මහමඟට බැස විරෝධතාවයන් ප්‍රකාශ කිරීමට බියෙන් ආරක්ෂක අංශයට පොලිසියට රුපියල් බිලියන 440 ක් වියදම් කරනු යේ මර්ධනය සඳහා නොවේද? 2019 අයවැයේදී ආරක්ෂක අංශවලට රු.බි.393ක් වූ එම මුදල් රු.බි. 440ක් වනුයේ යහපාලන ආණ්ඩුවේ තිබූ මර්ධන තලයට එහා යමින් නව මාදිලියේ මර්ධන උපකරණ හඳුන්වාදෙමිනි. ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දී තිබියදීත් මෙවන් අවධියක සෞඛ්‍ය ප්‍රතිපාදන ලෙස වෙන් කරනුයේ රු.බි.160කි. 2019 දී එය රු.බි.188 විය. මෙලෙස සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදු කරන්නේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියේ සිට නොවෙද? කොරෝනා වෛරසයට එරෙහිව සොයාගත් එන්නත් ගෙනෙනවා වෙනුවට හොර වෙද්දුන්ගේ අරිෂ්ඨය පොවන්නේ මෙම ප්‍රතිපාදන කප්පාදුව වසා දැමීමට බව පැහැදිලි වේ.
ගමනක් බිමනක් යාමට පොදු ප්‍රවාහනය දියුණු කරනවා වෙනුවට මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 380ක් වෙන්කර ඇත. මාර්ග සංවර්ධනය අප සැමටම ගමන් යාමට පහසුබව අප දකී. නමුත් පොදු ප්‍රවාහනය දියුණු නොකර එලෙස මාර්ග සංවර්ධනය කරනුයේ ඔබේත් අපේත් ඡන්ද මංකොල්ලය සඳහාත් ඔවුන්ගේ කොමිස් ගසා ගැනීමට නොවේ ද? මෙම ආණ්ඩුව පත් වීමට පෙර පුරාවිද්‍යාත්මක ස්ථාන සුරක්ෂිත කරන බවට ප්‍රකාශ කරමින් පැමිණියද මාර්ග සංවර්ධනය වැලි, පස්, ගල් ලබාගැනීමට පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවට තිබූ බලතල මාර්ග සංවර්ධන අධිකාරියට දෙනුයේ ජනතාවට කොලොප්පම් කරමිනි. මේ සියල්ල ඔවුන්ගේ මුදල් තර කර ගැනීමට නොවේද?
විල්පත්තුව සුරක්ශිත කරනවා, පරිසරයට ආදරය කරමින් තමන්ගේ ඡන්ද වැඩිකර ගැනීමට පැළයක් පවා ලබාදුන් මෙම ආණ්ඩුව, සිංහරාජය වැනි ලෝක උරුම විනාශ කරනුයේ කුමන සමාගම්වල අතකොළුවක් වෙමින්ද යන්න පැහැදිලියි. තවද කැළෑ හෙලිකරමින් විශාල සංහාර සිද්ධ කරන්නේ සමාගම්වලට කෙසෙල් වැනි භෝග සෑදීමට බව රහසක් නොවේ.
ජනාධිපතිවරණ මහමැතිවරණ ප්‍රතිපත්ති සුපුරුදු පරිදී පුහුවක්කරමින් ඔවුන්ගේ නවලිබරල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව හොඳින් පැහැදිලිවේ. ජනතාව තවතවත් පීඩාවට පත්කරන එය ණය උගුල්වල තිර කිරීම ඔවුන්ගේ සිරිතකි. වසර 5න් විශ්‍රාම යන පෞද්ගලික සේවාව වසර 60 දක්වා දීර්ඝ කරනුයේ EPF අරමුදලින් ගසා කෑමට නොවේද? මේ සියල්ලන්ගෙන්ම සාක්ෂාත් වනුයේ ඔවුන්ගේ පොරොන්දු පුහුවක් බවත් ජනතාව තවත් පීඩාවට පීඩාවට පත්කරන බවත් ය. මෙම අයවැයට විරුද්ධව , ප්‍රතිපාදන කප්පාදුවට විරුද්ධව අප සංවිධානය නොවුණහොත් අප තව තවත් ණය උගුල්වලට අහුවෙමින් ලෝක බලවතුන්ගේ භූ දේශපාලනික ව්‍යාප්තියේ වහල්ලු බවට පරිවර්තනය වීම නොවැලැක්විය හැකියි. එමනිසා අප සියළු දෙනා මෙවැනි අයවැයන්ට හා ප්‍රතිපත්තිවලට විරුද්ධව සංවිධානය වී සටන් වැදිය යුතුය.
එක්ව සංවිධානය වෙමු !
එක්ව සටන් වදිමු !
No comments :
Post a Comment