Wednesday, March 17, 2021

නිදහස් අධ්‍යාපනය අයිතියක් කළ පැරිස් කොමියුනය...

No comments :

 


    ලොව පුරා වෙසෙන නිර්ධන පන්තියට තම විමුක්තිය උදා කර ගැනීමට හැකි බව ලොවට පසක් කරමින් බිහි වූ පැරිස් කොමියුනයට වසර 150 ක් පිරෙන අද දින එම ඉතිහාසය ගෙනහැර දැක්වීම සුදුසු යැයි අපි කල්පනා කළෙමු.

    සමාජ සංවර්ධනයේ දී පන්ති සටන තීරණාත්මක කාර්යයක් ඉටුකර ඇත. එම පන්ති සටන් වල ජය බිමක් ලෙස ප්‍රංශය හඳුනාගත හැක. ලෝකයම අඳුරේ ගිල්වමින් තිබූ මධ්‍යතන යුගය අවසන් කරමින් වැඩවසම් සමාජය පෙරලා දමා ධනවාදයට ප්‍රංශය විවෘත වූ ප්‍රංශ විප්ලවය සිදු වූයේ 1789 දී ය. ඉන්පසුව ද ප්‍රංශය පුරා කම්කරු සටන් නිරන්තරයෙන් දක්නට ලැබුණි.

    1860 දශකය වන විට ප්‍රංශයේ පැවතියේ ලුවී නැපෝලියන්ගේ රාජාණ්ඩු පාලනයක් වන අතර එම කාල වකවානුවේ ප්‍රංශය හා ජර්මනිය අතර යුදමය තත්ත්වයක් උද්ගතව පැවතුණි. 1870 ජුනි 19 වැනි දින ප්‍රංශ හමුදාව ජර්මනිය ආක්‍රමණය කළ නමුත් සැප්තැම්බර් 02 වැනි දින වන විට නැවත ජර්මනියට යටත් වීමට සිදුවිය. ප්‍රංශය මුහුණදුන් මෙම තත්ත්වයන් හමුවේ රට තුළ රජුට එරෙහිව විරෝධතා ඇති වූ අතර  ඒවා තම වාසියට හරවා ගනිමින් ඇඩොල්ෆ් තියරේස් ප්‍රමුඛ ප්‍රංශ ධනපතියෝ තාවකාලික සමූහාණ්ඩුවක් ස්ථාපිත කර ගැනීමට ක්‍රියා කළහ.

1870 සැප්තැම්බර් 18 වැනි දින ජර්මන් හමුදා ප්‍රංශය ආක්‍රමණය කිරීමට සූදානම් විය. ඊට එරෙහිව වීරෝධාර ලෙස නැඟී සිටි පැරිස් කම්කරුවන් නිර්ධන පන්ති රාජ්‍යයක් ගොඩ නැගීමට උත්සහ කරනු ලැබූ අතර 1871 මාර්තු 18 වැනි දින එනම් අද වැනි දිනක විසින් පැරිසියේ බලය තමන් වෙත පවරා ගනිමින් ලෝකයේ පළමු නිර්ධන පන්ති රාජ්‍ය වන පැරිස් කොමියුනය පිහිටුවා ගන්නා ලදි. පැවති මෙම යුධමය තත්ත්වය හමුවේ ජර්මනිය සහ ප්‍රංශයේ ධනපති සමූහාණ්ඩුව කම්කරු විරෝධී ගිව්සුමක් ඇති කරගත්ත ද සමූහාණ්ඩුවාදීන් පළවා හැරීමට ප්‍රංශ කම්කරුවන් සමත් විය.

මෙලෙස ස්ථාපිත කර ගත් නිර්ධන පන්ති රාජ්‍යය තුළ ක්‍රියාත්මක කළ තීන්දු තීරණ පිළිබඳව විමසා බැලීමේ දී පහත සඳහන් දෑ වැදගත් වේ.

  1. රජය සතුව පැවති ස්ථාවර සන්නද්ධ හමුදා අහෝසි කරමින් කම්කරු ආරක්ෂක කමිටු ගොඩ නැගීමට කොමියුනය විසින් කටයුතු කිරීම. 
  2. කොමියුනයේ පාලනය තුළ පල්ලිය සහ රාජ්‍යය එකිනෙකින් වෙන් කිරීම සහ ආගමික සංස්ථා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා නොදුන් පල්ලි සතු දේපොළ සියල්ල පොදු දේපළක් විය යුතු බව ද කොමියුනය විසින් තීරණය කිරීම.
  3. කම්කරුවන් සහ නිළධාරින් අතර පැවති වැටුප් විෂමතාවය ඉවත් කිරීම.(නිළධාරින්ගේ වැටුප කම්කරුවන්ගේ වැටුප නොඉක්මවිය යුතු බව තීරණය කිරීම.)
  4. දිළිඳු පවුල් සඳහා සහනාධාර ලබා දීමට කටයුතු කිරීම. විශේෂයෙන් නගරයේ බේකරිවල රාත්‍රී වැඩ මුරය අවසන් කර කම්කරු ආරක්ෂක කමිටු වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් ව මියගිය අයගේ පවුල්වලට විශ්‍රාම වැටුප ලබා දීම සහ ණය සඳහා පොළී අය කිරීම අහෝසි කිරීම.
  5. ධනපතියන් විසින් හැර ගිය කර්මාන්ත ශාලා කම්කරු පාලනයක් යටතේ නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.
  6. මාර්තු මස 26 වැනි දින මැතිවරණයක් පවත්වා කොමියුනය කෙරෙහි ජනතා ප්‍රසාදය මෙන්ම විශ්වාසය තහවුරු කර ගැනීම. ( මෙම මැතිවරණය සඳහා ධනපති කණ්ඩායම් වලටද ඉදිරිපත් වීමට හැකිවිය.)
  7. මෙතෙක් සාමාන්‍යය ජනතාවට විවෘත නොවූ සියළු අධ්‍යාපන ආයතන ජනතාව වෙත නොමිලේ විවෘත කිරීම.
  8. අධිකරණ නිලධාරීන්ගේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා පියවර ගැනීම.

    මෙලෙස නිර්මාණය කරගත් පැරිස් කොමියුනයේ පාලනය බිඳ දැමීමට ධනපතියන්ගේ මැදිහත් වීම බහුල දක්නට ලැබිනි. වර්සේල්ස්වලට පළා ගොස් ධනපතියන් සමඟ සංවිධානය වූ විසිරුවා හරින ලද ධනපති හමුදා විසින් 1871 මැයි මස 21 වැනි දින පැරිස් නගරයට පහර දී නගරය නැවත පවරා ගන්නා ලදි. එහි දී කාන්තාවන් සහ දරුවන් ඇතුළු ප්‍රංශ වැසියන් දස දහස් ගනනක් මරා දමනු ලැබී ය. ඊට අමතරව, ප්‍රතිවිප්ලවකාරී හමුදාව විසින් සිරකරුවන් ලෙස සැලකූ බොහෝ දෙනා ඝාතනය කරනු ලැබී ය. එම "ලේ වැකි සතිය" තුළ සහ සිරකරුවන් ලෙස ඝාතනය කළ ප්‍රංශ වැසියන් නගරය වටා නොගැඹුරු සොහොන් ගෙවල්වල තැන්පත් කරනු ලැබී ය . කොමියුනය සංහාරය කරමින් සමූලඝාතනය කළ එක් ස්ථානයක් වූයේ ප්‍රසිද්ධ ප්‍රේලාෂාස් සුසාන භූමිය යි. මේවන විට එම ස්ථානයේ සිහිවටනයක් ලෙස ස්මාරකයක් ද ඉදිකර ඇත. මැයි මස 28 වැනි දින ලේ වැකි සතිය නිමා වූයේ ලොව ප්‍රථම නිර්ධන පන්ති රාජ්‍ය වූ ප්‍රංශ කොමියුනය දින 72 කට සීමා කරමිනි.

නිර්ධන පන්ති රාජ්‍යයක ප්‍රායෝගික අත්දැකීම් නොමැතිව බිහි වූ ප්‍රංශ කොමියුනය බිඳවැටීමට හේතු පාදක වූ කරුණු කිහිපයක් හඳුනා ගත හැකි ය. ඒවා පහතින් දැක්වේ.

  1.  කොමියුනයට පෙර පැවති පැරිස් බැංකුවල තිබූ මුදල් කොමියුනය වෙත පවරා නොගැනීම සහ එම මුදල් රැගෙන ධනපතියන්ට වර්සේල්ස් බලා පළා යාමට ඉඩ ලබා දීම.
  2.  විසිරුවා හරින ලද හමුදාවන්ට පළා ගොස් වර්සේල්ස් ප්‍රතිවිප්ලවයේ මධ්‍යස්ථානය බවට පත්කර ගැනීමට ඉඩ ලබාදීම. මෙහි දී එම පිරිස් තියරේගේ හමුදාව සමඟ කටයුතු කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ද පැරිස් කොමියුනය අපොහොසත් වී ඇත.
  3. කොමියුනය තුළ විවිධ මතයන් දරන පාර්ශ්වයන් සිටීම නිසා මධ්‍යගත සංවිධානයක් නොතිබීම.
  4. ජනතාව සන්නද්ධ කර ශක්තිමත් නිර්ධන පන්ති හමුදාවක් බිහි කිරීම සඳහා මැදිහත් වීම කොමියුනයට මඟහැරී තිබීම. 
  5. කම්කරුවන් විසින් ගොඩ නැගූ කොමියුනය පවත්වා ගෙන යාම සඳහා ගොවි ජනතාව සංවිධානය නොකිරීම.

පැරිස් කොමියුනයේ බිඳවැටීමෙන් අනතුරුව බිහි වූ නිර්ධන පන්ති රාජ්‍යයන් කොමියුනයෙහි අත්දැකීම් තම අරමුණ කරා ගමන් කිරීමට පාදක කරගත් බව දක්නට ලැබේ.

නිර්ධන පන්ති රාජ්‍යයක අත්දැකීම් නොමැති අවස්ථාවක වුව ද නිර්ධන පන්තියේ අභිවෘද්ධිය උදෙසා සටන් කළ, කැපකිරීම් කළ පැරිස් කොමියුනයට අපගේ විප්ලවීය ආචාරය..

Saturday, March 13, 2021

විකිණීමට ඇත.

No comments :


" නිදහසින් පසු වසර 73ක කාලයක් වසර පහෙන් පහට පැවති කට්ටිමාරු දේශපාලනයට පැවති නිශ්චිත දැක්මක් නොතිබීම මෙන්ම ඔවුන් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිවල පැවති දුර්වලතා නිසා අද දවස වන විට ලංකාව ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී පවතී. මීට විසදුම වන්නේ ආකර්ෂණීය වචන වලින් කලින් කලට ගෙන  එන ප්‍රතිපත්ති ප්‍රකාශන නොව ක්‍රමවේදය තුළ සිදුකරන වෙනසකි. එසේ  නොවන්නට අපට සිදුවනුයේ අප රට සතු වටිනා සම්පත් සින්නක්කරව හෝ බදු පදනම මත බලවත් ජාතීන් අත්පත් කරගන්නා දෙස බලා සිටින්නට පමණි.

     ස්පාඤ්ඤකාරයෝ කොලොම්බියාවට ආවේ රත්‍රන් හොයාගෙනය. ඉන්පසු ඇමරිකන්කාරයෝ කොලොම්බියාවට ආවේ කෙසෙල් කැන් සොයාගෙනය. ස්පාඤ්ඤකාරයෝ රත්‍රන් වෙනුවෙන් කොලොම්බියාවේ දහස් ගණන් ඝාතනය කළහ. 1928 දී ඇමරිකන්කාරයෝද කොලොම්බියාවට පැන කෙසෙල් වගාව පිණිස ඉඩම් කොල්ලකා තිස්දාහක් පමණ ඝාතනය කළහ.මේ සිදුවීම් වන කාලයට පෙර ලංකාවේද 1818 දී හා 1848 දී සුද්දන් විසින්  අපේ ජනයාද දහස් ගණනක් ඝාතනය කරනු ලැබුවේ මේ රටේ සම්පත් කොල්ලකෑම වෙනුවෙනි. අධිරාජ්‍යවාදීන්ගේ පැහැය කුමක් වුවත් ක්‍රියාවේ වෙනසක් නැත. වර්තමානයේදී ද දෙස් විදෙස් නරුමයින් විසින් ලංකාව හපකර දමනවිට මෙරට උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන් සිවිල් ජනයා බහුතරයක් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටීම වේදනාවට කරුණකි. කොලොම්බියාවද අප වැනි රටකි. අධිරාජ්‍යයවාදීන්ගේ හපයක් බවට පත්ව ලතින් ඇමරිකානු කලාපයේ වඩාත්ම අනාරක්ෂිත රට බවටද පත්විය. ශ්‍රී ලංකාවටද එම තත්ත්වය උරුම වීමට මත්තෙන් මෙසේ සටහන් කරමු."